නිමල් රාජපක්ෂ-
බදුල්ල දිස්ත්‍රික්කයේ ආපදාවට ලක් වූ ජනතාව සඳහා අවශ්‍ය සහන කඩිනමින් ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව සමන්ත විද්‍යාරත්න මහතා අවධාරණය කලේය. ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ආපදාවට ලක් වූ බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් සඳහා වන්දි චෙක්පත් ප්‍රදානය කිරීම අද (20) බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි.
මෙහිදී පූර්ණ වශයෙන් නිවාස අහිමි වූ පවුල් සඳහා රුපියල් ලක්ෂ 50 බැගින් වන්දි ලබාදීමට කටයුතු කළ අතර, නව නිවසක් මිලදී ගැනීම සඳහා පවුල් දෙකක් වෙනුවෙන් රුපියල් කෝටි 1ක මුදලක් ප්‍රදානය කෙරිණි. තවද, තවත් පවුල් දෙකක් සඳහා පළමු වාරිකය ලෙස රුපියල් ලක්ෂ 20 බැගින් සහ දෙවන වාරිකය ලෙස රුපියල් ලක්ෂ 15 බැගින් ලබාදෙන ලදි.
අර්ධ වශයෙන් හානි වූ නිවාස අලුත්වැඩියා කිරීම සඳහා පවුල් 24කට රුපියල් ලක්ෂ 2 බැගින් වන්දි ලබාදීම සිදුකෙරුණු අතර, තක්සේරු වාර්තාවකින් තොරව නිලධාරී තහවුරු කිරීම මත රුපියල් ලක්ෂ 5 දක්වා වන්දි ලබාගැනීමට සුදුසුකම් ලැබූ පවුල් 205ක් සඳහා පළමු වාරිකය ලෙස රුපියල් ලක්ෂ 3 බැගින් ප්‍රදානය කෙරිණි. එමෙන්ම, තක්සේරු වාර්තා මත වන්දි හිමි වන නිවාස 13ක් සඳහාද මෙහිදී වන්දි චෙක්පත් පිරිනැමිණි.
මෙහිදි අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, සමස්ත අර්ධ හානි වූ නිවාස 5,515ක් අතරින්, තක්සේරුවකින් තොරව රුපියල් ලක්ෂ 5 දක්වා වන්දි ලබාගැනීමට කැමැත්ත පළ කළ පවුල් 3,779ක් අතරින් 3,000කට වැඩි පිරිසකට මේ වන විටත් වන්දි ගෙවා අවසන් කර ඇති බවත්, තක්සේරු වාර්තා මත වන්දි අපේක්ෂා කළ පවුල් 507කගේ කටයුතුද අවසන් කර ඇති බවත්ය.
එමෙන්ම, පූර්ණ ලෙස විනාශ වූ නිවාස 589ක් සහ ‘අධි අවදානම්’ ලෙස හඳුනාගත් නිවාස සඳහා රුපියල් ලක්ෂ 50 බැගින් වන්දි ලබාදීමට කටයුතු කර ඇති බවත්, අනතුරුදායක ප්‍රදේශවලින් ඉවත් වී පසුගිය මාස හය තුළ කුලී නිවාසවල ජීවත් වූ පවුල් 1,633ක් සඳහා රුපියල් මිලියන 225ක මුදලක් කුලී නිවාස සහනාධාර ලෙස මේ වන විටත් ලබාදී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
ඊට අමතරව, ආපදාවෙන් හානි වූ නිවාස පිරිසිදු කිරීම සඳහා පවුල් 18,521කට රුපියල් ලක්ෂ 4,630ක්ද, මුළුතැන්ගෙයි උපකරණ ලබාදීම සඳහා පවුල් 4,248කට රුපියල් මිලියන 212.4ක්ද වෙන් කර ඇති අතර, පාසල් දරුවන් සඳහා රුපියල් මිලියන 81.5ක සහන ලබාදීමටද කටයුතු කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
තවද, ආපදාවෙන් බලපෑමට ලක් වූ ව්‍යාපාරිකයන් 750 දෙනෙකුට වැඩි පිරිසක් සඳහා රුපියල් මිලියන 43.1ක මුදලක් ලබාදී ඇති අතර, වී හා එළවළු ගොවීන් 5,540 දෙනෙකු සඳහා ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා රුපියල් ලක්ෂ 2,013ක මුදලක් ලබාදීමට කටයුතු කර ඇති බවද අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට, බදුල්ල නගරාධිපති නන්දන හපුගොඩ, බදුල්ල ප්‍රාදේශීය සභා සභාපති පාලිත ජයවර්ධන, නියෝජ්‍ය නගරාධිපති, උප සභාපති ඇතුළු මහජන නියෝජිතයින්ද, බදුල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් සහ ප්‍රාදේශීය ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.
