Spread the love

නිමල් රාජපක්ෂ-

දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන “ප්‍රජා ශක්ති” වැඩසටහන යටතේ, ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 172ක මුදලක් වෙන් කර ඇති බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ අද (01) කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවති ප්‍රජා ශක්ති ප්‍රගති සමාලෝචන හමුවකට සහභාගි වෙමිනි.

රජයේ මූලික අරමුණු තුනෙන් එකක් වන දිළිඳුකම තුරන් කිරීම සඳහා ‘ප්‍රජා ශක්ති’ ජාතික වැඩසටහන ආරම්භ කෙරිණි. ඒ අනුව, දිවයිනේ ග්‍රාම නිලධාරී වසම් 14,022ම ආවරණය වන පරිදි සංවර්ධන වැඩසටහන් හඳුනාගැනීමටත් ඒවා ක්‍රියාත්මක කිරීමටත් ‘ප්‍රජා ශක්ති ප්‍රජා සංවර්ධන සභා’ පිහිටුවනු ලැබීය. එම ප්‍රජා සංවර්ධන සභා මගින් ප්‍රමුඛතාව මත හඳුනාගත් සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා 2026 අයවැයෙන් රුපියල් මිලියන 25,000ක මුදලක් වෙන් කරන ලදී. ඉන් රුපියල් මිලියන 172ක මුදලක් කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා වෙන් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 37කින් ලබාගත් සංවර්ධන යෝජනා සඳහා මේ වන විටත් රුපියල් මිලියන 55ක වටිනාකමින් යුත් ව්‍යාපෘති ආරම්භ කර ඇති බවද මෙම හමුවේදී අනාවරණය විය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය උපාලි පන්නිල මහතා සඳහන් කළේ, දිළිඳුකම තුරන් කිරීම යනු හුදෙක් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමක් පමණක් නොවන බවයි.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මේනක හේරත් මහතා අදහස් දක්වමින් සඳහන් කළේ, මේ වන විට ප්‍රජා ශක්ති වැඩසටහන සඳහා ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ලැබී ඇති සංවර්ධන යෝජනා වලින් 70%ක්ම දිළිඳුකම තුරන් කිරීමේ අරමුණුවලට සමපාත වන බවයි. තවද, දිළිඳුකම තුරන් කිරීමේ ඉලක්කය ජය ගැනීම සඳහා ප්‍රජා සවිබලගැන්වීමේ නිලධාරීන්ට විශාල වගකීමක් පැවරෙන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට කැලණිය ප්‍රාදේශීය ලේකම් ගයනී රණසිංහ මහත්මිය, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ නිලධාරීන්, ප්‍රජා සංවර්ධන සභා සභාපතිවරුන්, ලේකම්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.