Spread the love

මහනුවර මහ නගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු සියලුම මන්ත්‍රීවරුන්ගේ මාසික දුරකථන දීමනාව අහෝසි කිරීමට මහනුවර මහ නගර සභාව ඒකමතිකව තීරණය කර තිබේ.

2010 වසරේදී මුදල් කමිටුවට ඉදිරිපත් කළ මන්ත්‍රී යෝජනාවක් මගින් නගරාධිපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන්ට රුපියල් 10,000ක දුරකථන දීමනාවක් ලබාදීම එවකට සම්මත වී තිබුණි.

මෙවර නගර සභා රැස්වීමේදී නැවතත් මෙම දුරකථන දීමනාව සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති අතර, නගරාධිපතිවරයාට රුපියල් 20,000ක්, උප නගරාධිපතිවරයාට රුපියල් 15,000ක් සහ මන්ත්‍රීවරුන්ට රුපියල් 10,000ක් ලෙස දීමනාවක් ලබාදීමට යෝජනා වී තිබේ.

කෙසේ වෙතත්, මෙම යෝජනාව සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විවිධ අදහස් ඉදිරිපත් කර ඇති අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී ලස්සන බණ්ඩාර මහතා විසින් නගරාධිපතිවරයා, උප නගරාධිපතිවරයා ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් 46 දෙනාගේම දුරකථන දීමනාව සම්පූර්ණයෙන්ම අහෝසි කරන ලෙස සභාවට යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

මෙම යෝජනාව පසුව ඒකමතිකව සම්මත වී ඇති අතර, මින් ඉදිරියට මහනුවර මහ නගර සභාවේ මන්ත්‍රීවරුන්ට දුරකථන දීමනා ලබා නොදෙන බව දැනුම් දී තිබේ.