නිමල් රාජපක්ෂ
ශ්රී ලංකාවේ බහු-ආගමික සහජීවනය සංකේතවත් කරමින්, පාර්ලිමේන්තු පරිශ්රයේ සංවිධානය කළ නවරාත්රී පූජෝත්සවය අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය සහ කථානායක වෛද්ය ජගත් වික්රමරත්නගේ සහභාගීත්වයෙන් අද (20) උත්සවාකාරයෙන් පැවැත්විණි.
වාර්ෂිකව පවත්වනු ලබන නව රාත්රි පූජාව මෙවර බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යාංශයේ හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් ශ්රී ලංකා පාර්ලිමේන්තුව විසින් සංවිධානය කරන ලදි.
ආගමික චාරිත්ර ඉටු කිරීමත් සමඟ නවරාත්රී සැමරුම් කටයුතු ආරම්භ වූ අතර, ආශීර්වාදාත්මක නර්තනාංග කිහිපයකින් ද මෙම අවස්ථාව වර්ණවත් විය.
මෙහිදී අදහස් දැක්වූ අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළේ, යහපත් සිතිවිල්ලෙන් සිදුකරන මෙම පූජෝත්සවය සමස්ත රටටම ආශීර්වාදයක් වන බවයි. එමෙන්ම, අන්ය සංස්කෘතීන්ට ගරු කරන ආගමික හා සංස්කෘතික සහජීවනය තුළින් වඩාත් යහපත් රටක් ගොඩනැඟිය හැකි බව ද අග්රාමාත්යතුමිය පෙන්වා දුන්නාය.
කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතා අදහස් දක්වමින්, හින්දු විශ්වාසයට අනුව දුර්ගා දේවියගේ ආශීර්වාදයෙන් අයහපත දුරුවී, ලක්ෂ්මි දේවියගේ ආශීර්වාදයෙන් යස ඉසුරින් ආඪ්ය වී, සරස්වතී දේවියගේ ආශීර්වාදයෙන් ප්රඥාව වර්ධනය වේවායි ප්රාර්ථනා කරන බව පැවසුවේය. කිසිදු භේදයකින් තොරව සියලු දෙනාගේම දායකත්වයෙන් මෙවැනි සැමරුම් සංවිධානය කිරීම යහපත් ආදර්ශයක් බව ද කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාව ට හින්දු ආගමික පූජකතුමන්ලා, නියෝජ්ය කථානායක වෛද්ය රිස්වි සාලි, නියෝජ්ය කාරක සභා සභාපතිනි හේමාලි වීරසේකර, ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය (ආචාර්ය) හිනිදුම සුනිල් සෙනෙවි, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්ය රාමලිංගම් චන්ද්රසේකර්, වැවිලි සහ ප්රජා යටිතල පහසුකම් නියෝජ්ය අමාත්ය සුන්දරලිංගම් ප්රදීප්, විපක්ෂයේ ප්රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය, අනුබද්ධ කාර්ය මණ්ඩලය සහ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ නියෝජනය කරන නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
