.
නිමල් රාජපක්ෂ –
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අවම පහසුකම් යටතේ මෙතෙක් පවත්වාගෙන ගිය හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය නවීන පහසුකම් සහිතව පුළුල් පරිශ්රයක පිහිටුවා නව්‍යකරණය කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර සේවාවන් සඳහා එක් කිරීමත්, එමෙන්ම නවීන පහසුකම් සහිතව නව පරිශ්රයක ස්ථාපනය කරන ලද ප්‍රධාන වෛද්‍ය රසායනාගාරයේ සේවා කටයුතු ආරම්භ කිරීමත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ සහභාගීත්වයෙන් අද (14) පෙරවරුවේ සිදුවිය .
මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය රුපියල් මිලියන 92කට අධික මුදලක් වැයකර ඇත.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ මෙතෙක් පැවති ප්‍රාථමික සත්කාර ඒකකය (PCU) ඉතා අවම පහසුකම් සහිතව අඩු ධාරිතාවයකින් ක්‍රියාත්මක වූ අතර දිනෙන් දින වැඩිවන හදිසි ප්‍රතිකාර සදහාවන ඉල්ලුම සැලකිල්ට ගනිමින් පැවති ගොඩනැගිල්ල හා ඊට යාබදව ඉදිකරන ලද නව පරිශ්‍රය ද ඒකාබද්ධ කර පුළුල් පරිශ්රයක මෙම නව හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය Accident and Emergency Care Unit (A&E – Level II) පිහිටුවීමට පියවර ගෙනඇත.
අවම පහසුකම් යටතේ පවා මෙම ප්‍රතිකාර ඒකයෙන් 2025 වර්ෂයේ දී රෝගීන් 31981 දෙනෙකු ප්‍රතිකාර ගැනීම සැලකිල්ලට ගනිමින් කඩිනම් සහ ප්රමුඛ අවශ්‍යතාවයක් සේ සලකා මෙම ඒකකය නව්‍යකරණය කර පුළුල් පරිශ්රයක පිහිටුවීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ගත් තීරණයකට අනූව මෙම ව්‍යාපාතිය ආරම්භ කෙරිණි.
හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය නවීන පහසුකම්වලින් සමන්විතව නව්‍යකරණය කිරීම සඳහා රුපියල් මිලියන 37ක් වෙන්කර තිබූ අතර රෝහලේ ප්‍රධාන රසායනාගාරය සම්පූර්ණයෙන්ම නවීන පහසුකම් වලින් සමන්විතව නව ස්ථානයක ප්‍රතිස්ථාපනය කිරීම සදහා රුපියල් මිලියන 55ක මුදලක් වෙන් කරනු ලැබීය.
මෙම ඒකකයන් ජනතා අයිතියට පත්කිරීමෙන් අනතුරුව අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මීට මාස කිහිපයකට පෙර මෙම රෝහලට පැමිණි විට දකින්නට ලැබුණු ප්‍රාථමික සත්කාර ඒකකයට වඩා නව්‍යකරණය කරන ලද නවීන පහසුකම් වලින් සමන්විත හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකයක් අද දකින්නට ලැබෙන බව පැවසීය.
රජයේ රෝහල් පද්ධතියේ පසුගිය කාලයේ ඉදිකිරීම් ආරම්භ කර අතරමග නවතා දමා ඇති සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භකර අවසන්කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට විශාල මුදලක් වැය කර ඇති බව ද සඳහන් කල අමාත්‍යවරයා ඒ වෙනුවෙන් මෙවර අයවැයෙන් විශාල මුදලක් වෙන්කර තිබෙන බවද පැවසීය.
කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් රට තුළ පවත්වාගෙන යාමට අවශ්‍ය සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සෞඛ්‍ය සේවාව තුළ සිටිය යුතු නමුත් ඒ සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය නොමැති බවත් එම කාර්ය මණ්ඩලයේ බඳවා ගැනීමට කටයුතු කරන බව ද සඳහන් කර සිටියේය.
