Spread the love

දේවින්ද පිණිදිය

සුවසැරිය පදනමේ හදිසි වෛද්‍ය තාක්ෂණික ශිල්පීන්ගේ කුසලතා වර්ධනය කිරීම සදහා ක්‍රියාත්මක කෙරෙන විශේෂ පුහුණු වැඩසටහන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ පස්වරුවේ නිරීක්ෂණට ලක්කළේය.

එංගලන්තයේ නව බකිංහැම්ෂයර් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය විල් බ්‍රෝටන් මහතාගේ ප්‍රධානත්වයෙන්, පරිපූරක වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රවීණයන් කණ්ඩායමකගේ විශේෂ අධීක්ෂණයෙන් දින 05ක් ක්‍රියාත්මක මෙම විශේෂ පුහුණු වැඩසටහන ශ්‍රි ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වේ.

මෙම විශේෂ විශේෂ පුහුණු වැඩසටහන් මාලාව මෙවර පවත්වනුයේ සිව්වන වරට ය. මේ වෙනුවෙන් මහාචාර්ය විල් බ්‍රෝටන් මහතා සහ එම පරිපූරක වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රවීණයන් කණ්ඩායමට මෙරටින් කිසිදු ගෙවීමක් හෝ මූල්‍ය දායකත්වයක් ලබා නොගන්නා අතර ගුවන් ටිකට්පත් ඇතුළු සියලු වියදම් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය සහ එම විද්වත් කණ්ඩායම විසින් දරනු ලබයි.

මෙම පුහුණුව සාර්ථකව නිමකරන හදිසි වෛද්‍ය තාක්ෂණික ශිල්පීන්ට ජාත්‍යන්තරව පිළිගත් සහතිකයක් ලබා දීමට ද නියමිතය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී අවධාරණය කර සිටියේ සුවසැරිය ගිලන් රථ බල ඇණිය 500 ක් දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය සැලසුම්, ක්‍රියාමාර්ග මේ වන විට ගනිමින් සිටින බවත්, මෙම ගිලන් රථ සේවාවට ලෝකයේ පවත්නා නවීනතම තාක්ෂණය එක්කරමින් නව්‍යකරණයට ලක් කිරීමට කටයුතු කරන බවත්ය.

එමෙන්ම ඉන්දීයානු රජය සමග සාකච්ඡා කර තවත් ගිලන්රථ 100 ක් ලබාගැනීමට කටයුතු කරන බවත්, ඊට අමතරව ආසියානු සංවර්ධන බැංකුවෙන් ගිලන්රථ 20ක් ණය ආධාර යටතේත්, තවත් ගිලන්රථ 25ක් ප්‍රදානයත් ලෙසටත් ලැබීමට නියමිත බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.