ජාතික නාමල් උයන ‘ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක්’ ලෙස ප්‍රකාශයට පත් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
ඒ, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ මෙරට ජාතික උරුමයන් හඳුනා ගැනීම, සංරක්ෂණය කිරීම සහ අනාගත පරපුරට දායාද කිරීමේ අරමුණින්ය.
ජාතික නාමල් උයන හඳුන්වාදී වසර 35ක් පිරිම සැමරීමට සමගාමීව මෙය සිදු කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හෙක්ටයාර 602ක් පුරා විහිදුණු ජාතික නාමල් උයන ජාතික, ආගමික, පාරිසරික සහ භූගෝලීය වටිනාකම් රැසක් එක්වී ඇති අද්විතීය ස්ථානයකි.
එහි නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන්ගේ ඉල්ලීම මත, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සනිටුහන් කරමින් සමරු ඵලකය නිරාවරණය කිරීම මාර්ගගත තාක්ෂණය ඔස්සේ මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
මෙහිදී අදහස් දැක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, මෙම සුවිශේෂී පරිසර උරුමය සුරක්ෂිත කරමින් මතු පරපුර වෙත දායාද කිරීමේ ජාතික වගකීම සියලුදෙනා වෙත පැවරී ඇති බවයි.
එදා මෙදා තුර ජාතික නාමල් උයන ආරක්ෂා කර ගනිමින් එය සංවර්ධනය කිරීමට පූජ්‍ය වනවාසී රාහුල හිමියන් විසින් සිදු කරනු ලබන කැපවීම මෙහිදී ජනාධිපතිවරයා කෘතවේදීව අගය කළේය.
ජාතික නාමල් උයන 35 වන සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද මුල් දින කවරයද, ‘ජාතික නාමල් උයන ශාස්ත්‍රීය සංග්රහයද’ පුජ්‍ය වනවාසී රාහුල හිමියන් විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී.
මෙහිදී විශේෂ අනුශාසනාවක් සිදු කළ ජාතික නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන් සඳහන් කළේ, මෙම අවස්ථාව වත්මන් රජය ඉටු කළ විශිෂ්ටතම පාරිසරික සේවාව ලෙස ඉතිහාසයට එක්වන බවය.
මෙම වැඩසටහන හෙට (27) ජාතික නාමල් උයන පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතව තිබුණද රට තුළ උද්ගතව ඇති තත්ත්වය හමුවේ එය ජනාධිපති කාර්යාලයේදී සිදු කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ඉතා අගය කරන බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.
රට ගොඩනැඟීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තුළ ඇති වුවමනාව මේ රටේ ජනතාවද පිළිගෙන ඇති බව පෙන්වා දුන් උන්වහන්සේ සියලුදෙනා ඒකරාශී කර ගනිමින් මේ වන විට රට හමුවේ මතුව ඇති අභියෝගයට විසඳුම් සෙවිය යුතු බවද පෙන්වා දුන්හ.
