Spread the love

නිමල් රාජපක්ෂ

ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව හා එක්ව, පසුගිය දෙසතිය තුළ (2025 සැප්තැම්බර් 16 සිට 25 දක්වා) දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකල මෙහෙයුම් මඟින්, තහනම් ධීවර දැල් හා පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් ධීවර කටයුතු සිදුකළ, රාත්‍රී කාලයේ නීති විරෝධි ලෙස කිමිදුම් කටයුතු සිදුකරමින් ධීවර කටයුතු සිදුකළ, බලපත්‍ර නොමැතිව ධීවර කටයුතු සිදුකළ සහ නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයන් තිස්හය දෙනෙකු (36) සමඟ ඩිංගි යාත්‍රා දහතුනක් (13) සහ කැනොයි ඔරු දෙකක් (02) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, ත්‍රීකුණාමලය බෝල්ඩර් පොයිනට්, නෝර්වේ දූපත, අලම්පිල්, ඩයමන්ඩ් පොයින්ට්, වව්නතිව්, ෆවුල් පොයින්ට්, පරවි දුපත, පාලමින්මාඩු සහ මන්නාරම සවුත්බාර් යන වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි, නැගෙනහිර සහ උතුරු මැද නාවික විධාන විසින් මෙම මෙහෙයුම් සිදු කළහ.

තවද, මෙම මෙහෙයුම් මඟින් නීතියේ රැහැනට හසුකර ගත් සැකකරුවන්, තහනම් ධිවර ආම්පන්න සහ ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රීකුණාමලය, කුච්චවේලි, මුලතිව්, කොඩ්බේ, මූතූර්, මන්නාරම සහ මඩකලපුව ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත සහ සාම්පූර් පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.