නිමල් රාජපක්ෂ-
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වැනි නාවික හමුදාධිපති ලෙස ධුරයේ වැඩභාර ගැනීමෙන් අනුරාධපුරයේ පූජනීය ස්ථාන වන්දනාමාන කරමින්, නාවික හමුදාවේ ඉදිරි කටයුතු සඳහා ආශිර්වාද ලබා ගන්නා ලදි.
තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී, කෞෂල්‍යා ඕපාත ප්‍රනාන්දු මහත්මිය ද සහභාගී විය.
ඒ අනුව, නාවික හමුදාධිපති රුවන්වැලි මහා සෑය හා අනුරාධපුර ජය ශ්‍රී මහ බෝ සමිඳුන් වෙත බෞද්ධාගමික වත් පිළිවෙත් සිදුකර බැති සිතින් වන්දනාමාන කිරීමෙන් අනතුරුව, රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී වැඩ බලන අටමස්ථානාධිපති ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාල කුලපති මහා විහාර සංඝ සභාවේ ලේකම් මහා විහාර මහ පිරිවෙන් කෘත්‍යාධිකාරී ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය ඊතල්වැටුනුවැවේ ඥානතිලක නාහිමිපාණන් වහන්සේ බැහැදැක, නමස්කාර පූර්වකව පිරිකර පූජා කර නාවික හමුදාවේ ඉදිරි කටයුතු සාර්ථකව සිදුකිරීම සඳහා ආශිර්වාද ලබා ගන්නා ලදී.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතික ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීම, ජාතික සංවර්ධනයට දායක වීම සහ ඓතිහාසික ආගමික සිද්ධස්ථාන මතු පරම්පරාව උදෙසා ආරක්‍ෂා කිරීම වෙනුවෙන් සිදුකරනු ලබන උදාර මෙහෙවර අටමස්ථානාධිපති නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නයේ ප්‍රශංසාවට මෙහිදී ලක් විය.
එම ජාතික කර්තව්‍යයන් සාර්ථකව ඉටුකිරීම උදෙසා නාවික හමුදාධිපතිතුමන් ඇතුළු සියලුම නාවික හමුදා පුද්ගලයින් වෙත ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදයත්, ත්‍රිවිධ රත්නයේ පිහිට සහ ආරක්‍ෂාවත් නිරතුරුව හිමිවේවායි උන්වහන්සේලා සෙත් ප්‍රාර්ථනා කරන ලදි. තවද, මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මූලස්ථානයට හා උතුරු මැද නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඇතුළු නාවික හමුදා පුද්ගලයන් පිරිසක් සහභාගී වී සිටින ලදී
