නිමල් රාජපක්ෂ-
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන අඩු ආදායම්ලාභී පවුල් සවිබල ගැන්වීමේ ජාතික වැඩසටහන වඩාත් වේගවත් කිරීමේ අරමුණින්, ජූලි මස 15 වැනි දින සිට අගෝස්තු මස 15 වැනි දින දක්වා කාලය “ප්‍රජා සවිබල ගැන්වීමේ මාසය” ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
“ප්‍රජා සවියට නව බලයක්” යන තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම විශේෂ මාසය තුළ, දිවයින පුරා සේවයේ නිරත සමෘද්ධි නිලධාරීන්ගේ සක්‍රීය දායකත්වයෙන් ප්‍රතිලාභී පවුල් ආර්ථික හා සමාජීය වශයෙන් සවිබල ගැන්වීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ.
මෙම සවිබල ගැන්වීමේ මාසය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රධාන වැඩසටහන් පහත පරිදි වේ.
- සවිබල ගැන්වීමේ සැලසුම් සම්පූර්ණ කිරීම
2026 වර්ෂය සඳහා තෝරාගත් ප්‍රතිලාභීන් හඳුනාගෙන, හඳුනාගත් සියලුම පවුල් සඳහා “පවුල් සංවර්ධන සැලසුම්” සකස් කිරීම සහ අවසන් කිරීම. - ස්වයං රැකියා හා වෘත්තීය සංවර්ධනය
ස්වයං රැකියා, වෘත්තීය පුහුණු හා ව්‍යාපාරික සැලසුම් සකස් කිරීම, රු. 150,000 දක්වා වූ මූල්‍ය පහසුකම් යටතේ ස්වයං රැකියා උපකරණ කට්ටල ලබාදීම සහ වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා ලබාදෙන ගාස්තු දීමනාව රු. 150,000 දක්වා ඉහළ නැංවීම. - නීතිමය හා අධ්‍යාපනික සවිබල ගැන්වීම
අඩු ආදායම්ලාභී පවුල්වල නීතිමය ගැටලු විසඳීම සඳහා ප්‍රාදේශීය මට්ටමින් “නීතිය සෙවණ” වැඩසටහන් පැවැත්වීම, ශිෂ්‍යත්ව ප්රදානය කිරීම සහ දූ දරුවන්ගේ දක්ෂතා ඇගයීම සඳහා විවාද හා දැනුම මිනුම් තරග සංවිධානය කිරීම. - නිවාස හා සෞඛ්‍ය පහසුකම්
නිවාස ලොතරැයි අරමුදල මගින් ඉදිකරන ලද නව නිවාස ප්‍රතිලාභීන් වෙත භාරදීම සහ නව “සමෘද්ධි සුව පියස” සෞඛ්‍ය මධ්‍යස්ථාන විවෘත කිරීම. - සවිබල ගැන්වීමේ ප්‍රතිඵල ඇගයීම
මෙම වැඩසටහන හරහා මාසිකව රු. 40,000කට වැඩි ආදායමක් උපයන පවුල් පිළිබඳ තොරතුරු රැස් කරමින් සවිබල ගැන්වීමේ ක්‍රියාවලියේ සාර්ථකත්වය ඇගයීමට ලක් කිරීම. - සමෘද්ධි නිලධාරීන් දැනුවත් කිරීම
මෙම වැඩසටහනට සමගාමීව, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන්, සියලුම සමෘද්ධි නිලධාරීන් සඳහා දිස්ත්‍රික් මට්ටමින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පැවැත්වීමට ද සැලසුම් කර ඇත. එහි සමාරම්භක වැඩසටහන හෙට (10) පෙරවරු 9.30ට අරලියගහ මන්දිර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
මෙම සියලු වැඩසටහන් දිවයිනේ සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ මූලිකත්වයෙන්, සියලුම ක්ෂේත්‍ර නිලධාරීන්ගේ දායකත්වයෙන් ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
