නිමල් රාජපක්ෂ-
මෙරට ප්‍රවාහනයේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති රියදුරු සහ කොන්දොස්තරවරුන් විෂ මත්ද්‍රව්‍ය භාවිතකර ඇත්දැයි පරීක්ෂා කර බලා නීතිමය පියවර ගැනීම සඳහා ආරම්භ කර ඇති ජංගම මත් පරීක්ෂණ වැඩසටහන මුළු දිවයින ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලබන බව ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා මහතා පැවසීය.
සභාපතිවරයා මේ අදහස් පළකලේ පොදු ප්‍රවාහනයේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ පවතින ආයතන පද්ධතිය මගින් ක්‍රියාත්මක කර ඇති ආරක්ෂණ වැඩපිළිවෙලට අදාල විශේෂ මාධ්‍ය හමුවකට අද දින (2026.07.08) එක්වෙමිනි. මෙම මාධ්‍ය හමුව බත්තරමුල්ල, කොස්වත්ත, ‘මගනැගුම මහමැදුර’ 09 වන මහලේ පිහිටි ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා :
‘මත්ද්‍රව්‍ය භාවිතකර රිය ධාවනය කිරීම හේතුවෙන් මහමග අනතුරු විශාල සංඛ්‍යාවක් සිදුවෙනවා. දෛනිකව විශාල පිරිසකට ජීවිත අහිමි වෙනවා. තවත් පිරිසක් ආබාධිත තත්ත්වයට පත්වෙනවා. ධාවනයේදී රියදුරෙකුගේ රුධිරයේ මත්ද්‍රව්‍ය නොතිබිය යුතුයි. පසුගිය කාලයේ විශාල රියදුරන් පිරිසක් මතට ඇබ්බැහි වීම හේතුවෙන් ඇතිවූ අනාරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගෙන මත්ද්‍රව්‍ය වලින් තොර ධාවනයක් වෙනුවෙන් මෙම ජංගම මත්ද්‍රව්‍ය පරීක්ෂණ වැඩසටහන පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ආරම්භ කලා.
ඒ යටතේ බස්නාහිර පලාත තුල පමණක් රියදුරු සහ කොන්දොස්තරවරුන් 5,242 ක් පරීක්ෂා කලා. මෙයින් 239 දෙනෙක් විෂ මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව තහවුරු වීමෙන් අනතුරුව නීතිමය කටයුතු සඳහා යොමු කිරීමට පියවර ගත්තා. මේ වසර අවසන් වීමට පෙර පරීක්ෂණ ක්‍රියාවලිය දෙගුණයකින් වැඩි කිරීමටත් බස්නාහිර පළාතෙන් ඔබ්බට පරීක්ෂණ දියත් කිරීමටත් කටයුතු කරනවා.
පොදු ප්‍රවාහනයේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක කරන මෙම ජාතික වැඩසටහන දඞුවමකට එහා ගිය අත්‍යවශ්‍ය පණිවිඩයක් ලබාදීම සඳහා සිදුකරනවා.’
මෙහිදී අදහස් දැක්වූ ජාතික ගමනා ගමන කොමිසන් සභාවේ සභාපති ඉංජිනේරු පී. ඒ. චන්ද්‍රපාල මහතා :
‘රියදුරු සහ කොන්දොස්තරවරුන් මත්ද්‍රව්‍යයෙන් තොරව ධාවනයේ යෙදීම අනිවාර්යයි. ප්‍රවාහනය නියාමනය කරන සහ නියෝග නිකුත් කරන ප්රමුඛ ආයතනයක් වශයෙන් මේ සඳහා ජාතික ගමනා ගමන කොමිසන් සභාව සෘජුව මැදිහත් වෙනවා.
මතින් තොරව, ප්‍රමාණවත් දැනුමකිත් යුතු පිරිස් ප්‍රවාහන කාර්යය සඳහා යොදාගන්නා මෙන් ධාවකයින්ගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා. විෂ මත්ද්‍රව්‍ය භාවිතකර ධාවනයේ යෙදීම මගීන් අනතුරේ හෙලීමක්; අනාරක්ෂිත තත්ත්වයක්. ආරක්ෂාකාරී ගමනාන්තයක් දක්වා ගමන් කිරීමට මගීන්ට ඇති අයිතිය පැහැර හැරීමක්. මෙය ධාවන බලපත්‍රය ලබාගැනීමේදී පවා ගැටළුකාරී තත්ත්වයන් උද්ගතවන අවස්ථාවක්.
ප්‍රධාන සහ අතුරු ප්‍රවාහන ධාරාවේ යෙදෙන්නන් අනිවාර්යයෙන්ම විෂ මත්ද්‍රව්‍ය භාවිතකර ධාවනයේ නොයෙදිය යුතුයි.’
මෙම මාධ්‍ය හමුවට එක්වූ බස්නාහිර පලාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ගාමිණී ජාසිංහ මහතා :
‘බස්නාහිර පලාත තුල මගී ප්‍රවාහන රියදුරු සහ කොන්දොස්තරවරුන් 11,000 ක් පමණ සේවයේ යෙදෙනවා. සමාජ ගතවූ මතයක් තියෙනවා රියදුරු, කොන්දොස්තරවරු විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිසක් කියලා. නමුත් සියයට සියයක් එහෙම නෙමෙයි. මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ කවුද කියලා හොයන්න තමයි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ.’
