Spread the love

….

ශ්‍රී ලංකාවේ කාර්මික හා ව්‍යාපාරික ක්ෂේත්‍රයන්හි පිවිතුරු නිෂ්පාදනය, සම්පත් කාර්යක්ෂමතාව සහ පාරිසරික තිරසරභාවය වෙනුවෙන් විශිෂ්ට ජයග්‍රහණ අත්කරගත් ආයතන අගයමින් ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන උළෙල 2026 කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ප්‍රධානත්වයෙන් පසුගියදා කොළඹ Cinnamon Life පරිශ්‍රයේදී පැවැත්විණි.

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ සහයෝගයෙන් ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානය (NCPC) සංවිධානය කළ මෙම සම්මාන උළෙලේදී පිවිතුරු නිෂ්පාදනය සහ තිරසර කාර්මික භාවිතයන් සම්බන්ධයෙන් විශිෂ්ට ජයග්‍රහණ අත්කරගත් ආයතන ඇගයීම සඳහා මෙවර සම්මාන මට්ටම් පහක් යටතේ සම්මාන 114ක් පිරිනමන ලදී. ඒ අනුව ප්ලැටිනම් සම්මාන 01ක්, රන් සම්මාන 17ක්, රිදී සම්මාන 26ක්, ලෝකඩ සම්මාන 33ක් සහ කුසලතා සම්මාන 37ක් පිරිනැමිණි. සම්පත් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, අපද්‍රව්‍ය උත්පාදනය අවම කිරීම, පාරිසරික බලපෑම් අවම කිරීම සහ තිරසර මෙහෙයුම් ක්‍රමවේද අනුගමනය කිරීම සඳහා ආයතන දක්වන කැපවීම මෙම සම්මාන මගින් ඇගයීමට ලක් කෙරිණි. මෙවර සම්මාන උළෙලේ ඉහළම සම්මානය වන ප්ලැටිනම් සම්මාන දිනා ගත්තේ E. B.Creasy & Co., PLC – BIC & DENTA Factory සමාගමයි.

ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන උළෙලේදී පිවිතුරු නිෂ්පාදන සහ තිරසාර භාවිතයන් සඳහා කැපී පෙනෙන කැපකිරීමක් සිදුකළ කර්මාන්තකරුවන් ඇගයීමට ලක්කරනු ලබන අතර 2007 වසරේ දී ප්‍රථම වරට ආරම්භ කරන ලද මෙම ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන උළෙල ලංකාවේ පළමුවන පාරිසරික කර්මාන්ත සම්මාන උළෙලද වෙයි. සම්පත් කාර්යක්ෂම තාක්ෂණයන් භාවිත කිරීම, නිෂ්පාදන ක්‍රියාවලීන් වැඩිදියුණු කිරීම, අපද්‍රව්‍ය අවම කිරීමේ ක්‍රම ක්‍රියාත්මක කිරීම සහ වගකීම් සහගත පාරිසරික කළමනාකරණ ක්‍රමවේද අනුගමනය කිරීම තුළින් වඩාත් තිරසර හා අභියෝග වලට මුහුණදිය හැකි ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව ගමන් කිරීම සඳහා ව්‍යාපාරික ආයතනවලට සුවිශේෂී දායකත්වයක් ලබාදිය හැකිය.මෙවර සම්මාන උළෙලේදී ඇගයීමට ලක් වූ ජයග්‍රහණ, ජාතික තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා කර්මාන්ත ක්ෂේත්‍රයේ සක්‍රීය සහභාගිත්වයේ වැදගත්කම මෙන්ම වගකීම් සහගත නිෂ්පාදනය සහ පරිභෝජනය ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව ද මැනවින් පිළිබිඹු කරයි.

මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා,
පාරිසරික වගකීම සහ ආර්ථික තරගකාරීත්වය එකිනෙකට සමගාමීව වර්ධනය කිරීම වඩා වැදගත් වන බවත් සිය මෙහෙයුම් ක්‍රියාවලීන් තුළ තිරසරභාවය ඒකාබද්ධ කරගැනීමට ආයතන දිරිගැන්වීම සඳහා ජාතික පිවිතුරු නිෂ්පාදන සම්මාන උළෙල වැදගත් ජාතික වේදිකාවක් සපයන බවත් පැවසීය.

පරිසර හිතකාමී හා සම්පත් කාර්යක්ෂම ව්‍යාපාරික ක්‍රමවේදයන් අනුගමනය කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කරන ආයතන ඇගයීමට ලක් කළ මෙම සම්මාන උළෙල සඳහා පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුසන්ත ජයතිලක, ශ්‍රී ලංකා ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානයේ සභාපති ගාමිණී ගුණසේකර, ශ්‍රී ලංකා ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු සමන්ත කුමාරසේන, ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානයේ මෙහෙයුම් කළමණාකරු රුවන් විජේමාන්න ඇතුළු නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්, ව්‍යවසායකයන්, පාරිසරික වෘත්තිකයන් සහ තිරසර සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරන විවිධ පාර්ශ්වයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.