Spread the love

  මාලන් විතාන

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජයන්තිපුර ප්‍රදේශයේ ජනතාවට වඩාත් කාර්යක්ෂම, විධිමත් හා ජනතා හිතකාමී තැපැල් සේවාවක් ලබාදීමේ අරමුණින් සියලු නවීන පහසුකම්වලින් සමන්විතව අභිනවයෙන් ඉදිකරන ලද ජයන්තිපුර නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ  (25) පස්වරුවේ ජනතා අයිතියට පත් කෙරිණි.

ජයන්තිපුර නගර මධ්‍යයේ සිට කිලෝමීටර් දෙකක් පමණ දුරින්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් අබලන්ව පැවති ගොඩනැගිල්ලක දශක ගණනාවක් පුරා පවත්වාගෙන ගිය ජයන්තිපුර තැපැල් කාර්යාලයට ජයන්තිපුර නගරයේ නවීන පහසුකම්වලින් සමන්විත ස්ථිර ගොඩනැගිල්ලක් හිමිවීම විශේෂත්වයකි.

මෙම නව ගොඩනැගිල්ල විවෘත කිරීමත් සමඟ ජයන්තිපුර හා අවට ප්‍රදේශවල ජනතාවට කාර්යක්ෂම, ප්‍රමිතියෙන් යුතු, විශ්වාසනීය, පහසු තැපැල්  සහ මූල්‍ය සේවාවන් එකම ස්ථානයකින් ලබාගැනීමේ අවස්ථාව උදාවී ඇති අතර, ප්‍රදේශයේ රාජ්‍ය සේවා සැපයුම තවදුරටත් ශක්තිමත් කිරීමට ද මෙය මහඟු පිටිවහලක් වනු ඇත.

1958 වර්ෂයේ උප තැපැල් කාර්යාලයක් ලෙස ආරම්භ වී ඇති ජයන්තිපුර තැපැල් කාර්යාලය 2000 වර්ෂයේදී දෙවැනි ශ්‍රේණියේ තැපැල් කාර්යාලයක් ලෙස උසස් ශ්‍රේණිගත කර ඇත. නව රජය බලයට පත්වීමෙන් අනතුරුව අභිනවයෙන් ඉදිකර ජනතා අයිතියට පත් කළ හත්වන තැපැල් කාර්යාල ගොඩනැගිල්ල වන්නේ ද මෙයයි.

තැපැල් කාර්යාලය ජනතා අයිතියට පත් කිරීමෙන් අනතුරුව  අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය  නලින්ද ජයතිස්ස මහතා මෙරට  තැපැල් සේවාව දීර්ඝ කාලයක් මුහුණ දුන් යටිතල පහසුකම්, ප්‍රවාහන, තාක්ෂණික හා මානව සම්පත් ඌනතා  කඩිනමින් මඟහරවා, එය නවීන, කාර්යක්ෂම හා ආදායම් උපයන රාජ්‍ය සේවාවක් බවට පරිවර්තනය කිරීමේ පුළුල් වැඩපිළිවෙළක් රජය ක්‍රියාත්මක කරමින් සිටින බව පැවසීය‍.

නව තැපැල් කාර්යාල ඉදිකිරීමේ වැඩසටහන පසුගිය වර්ෂයේ   ආරම්භ කළ අතර, එම වර්ෂය තුළදීම සියලු ඉදිකිරීම් අවසන් කර ජනතා අයිතියට පත් කිරීම අපේක්ෂාව වුවද, දිට්වා සුළි කුණාටුව ඇතුළු අනපේක්ෂිත තත්ත්වයන් හේතුවෙන් තැපැල් කාර්යාල කිහිපයක ඉදිකිරීම් ප්‍රමාද වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත්, ජයන්තිපුර  තැපැල් කාර්යාලයේ ඉදිකිරීම් පසුගිය වර්ෂයේ ඔක්තෝබර් මස 01 වැනිදා ආරම්භ කර, මෙම වර්ෂයේ ජූලි මාසය අවසන් වීමට පෙර සාර්ථකව නිමවා ජනතා අයිතියට පත් කිරීමට හැකි වූ බවද අමාත්‍යවරයා  පැවසීය.

තැපැල් සේවාව මේ වන විට සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගනිමින් පාඩුදායී තත්ත්වයෙන් ක්‍රමයෙන් මිදී ආදායම් වර්ධනයක් කරා ගමන් කරමින් සිටින බවත්, එම ප්‍රවණතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සියලු ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර ඇති බවත් අවධාරණය කළේය.

ඒ අනුව පසුගිය වර්ෂයේදී තැපැල් කාර්යාල නවීකරණ ව්‍යාපෘති 206ක් සඳහා රුපියල් මිලියන 600ක් වැය කළ අතර, නව තැපැල් කාර්යාල 14ක් සහ දඹුල්ල ප්‍රාදේශීය හුවමාරු මධ්‍යස්ථානය ඇතුළු ඉදිකිරීම සඳහා තවත් රුපියල් මිලියන 600ක් ආයෝජනය කර තිබෙන බවද සඳහන් කළේය. එමෙන්ම ප්‍රවාහන පහසුකම් ශක්තිමත් කිරීම සඳහා රුපියල් මිලියන 588ක් වැය කර නව රථවාහන ලබාදී ඇති අතර, තැපැල් හා උප තැපැල් කාර්යාල ඩිජිටල්කරණය සඳහා රුපියල් මිලියන 74කට අධික මුදලක් වැය කර පරිගණක, ලැප්ටොප් ඇතුළු නවීන තාක්ෂණික උපකරණ ලබාදී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

තවද, තැපැල් සේවාව සතුව පවතින තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල 4,100කට අධික ජාලය මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන දිවයින පුරා කාර්යක්ෂමව හා අඩු වියදමකින් බෙදාහැරීමේ ප්‍රබල ජාතික ජාලයක් බවට පත් කිරීම රජයේ අරමුණ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.