Spread the love

නිමල් රාජපක්ෂ

සිංගල් සුපර් පොස්පේට්(SSP) නිෂ්පාදනයට සඳහා ආයෝජකයන්ගේ අභිලාෂ කැඳවීම කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් මේ වන විට ආරම්භ කර ඇති අතර අභිලාෂ කැඳවීම හෙට ( 16) දින පස්වරු දෙකෙන් අවසන් වේ.
දැනට ආයෝජකයන් විශාල සංඛ්‍යාවක් තම අභිලාෂ අමාත්‍යංශයට භාර දී ඇත. මෙම කර්මාන්තශාලාව ඉදිකිරීමට යෝජිත ත්‍රිකුණාමලය චීන වරාය අසල වරාය අධිකාරියට අයත් භූමිය නිරීක්ෂණයට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අද(15) දින එක් වූ අතර එම භූමිය ආශ්‍රිත යටිතල පහසුකම් දියුණු කිරීම වෙනුවෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ පැවති සාකච්ඡාවකටද එතුමා සහභාගි විය.

මෙම කර්මාන්තශාලාව ලංකා පොස්පේට් සමාගම සහ පෞද්ගලික අංශය එක්ව රාජ්‍ය පෞද්ගලික හවුල්කාරී ක්‍රමයට ආරම්භ කිරීමට නියමිත බවත්, දැනට කෘෂිකාර්මික කටයුතු සඳහා වාර්ෂිකව ශ්‍රී ලංකාවට ආනයනය කරන රුපියල් බිලියන අටකට ආසන්න ට්‍රිපල් සුපර් පොස්පේට්(TSP) පොහොර ප්‍රමාණය ක්‍රමානුකූලව සහ සම්පූර්ණයෙන්ම සිංගල් සුපර් පොස්පේට් වලින් ආදේශනය කිරීම සහ අතිරික්තව නිෂ්පාදනය කරන පොහොර ප්‍රමාණය අපනයනය කිරීමේ අරමුණෙන් මෙම කර්මාන්තශාලාව ඉදිකරන බව අමාත්‍යවරයා මෙම අවස්ථාවට එක් වෙමින් ප්‍රකාශ කළේය. මෙහි දෙවන අදියරයේදී සිංගල් සුපර් පොස්පේට් නිෂ්පාදනයට අවශ්‍ය සල්පියුරික් අම්ල නිෂ්පාදන කර්මාන්තශාලාවක්ද ඉදිකිරීමට යෝජිත බවටද එතුමා ප්‍රකාශ කලේය.

මෙම අවස්ථාවට ත්‍රිකුණාමල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රි රොෂාන් අක්මීමණ මහතා, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් හේමන්ත ගමගේ මහතා ඇතුළු රාජ්‍ය නිළධාරීන් එක්වී සිටියහ.