Spread the love

දේවින්ද පිණිදිය

ගංවතුරට ගොදුරු විය හැකි ප්‍රදේශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, ආපදා තත්ත්වයන්ගෙන් පසු රට යථා තත්ත්වයට පත් කිරීම සහ නිවැදි දත්ත ලබා ගැනීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP), ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති සේවා කාර්යාලයේ (UNOPS) නියෝජිතයින් සමග සාකච්ඡාවක් දෙසැම්බර් 8 වනදා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

ආපදා තත්ත්වයන්ගෙන් පසු ඵලදායී ලෙස ඉදිරි තීරණ ගැනීමේදී කාලෝචිත මෙන්ම නිරවද්‍ය තොරතුරු සහ දත්ත රැස් කිරීමේ වැදගත්කම පිළිබඳව අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළ අතර කෙටි කාලීන හා දිගු කාලීන පියවර මඟින් රට යළි යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කිරීමේ දී නිවැරදි දත්ත අත්‍යවශ්‍ය වන බව අග්‍රාමාත්‍යවරිය තවදුරටත් සඳහන් කළා ය.

මෙහිදී UNDP නියෝජිතයින් විසින් GIS තාක්ෂණය, චන්ද්‍රිකා ඡායාරූප සහ භූ දත්ත යොදා ගනිමින් පශ්චාත් ආපදා තත්වය තක්සේරුව සඳහා වන කෘතිම බුද්ධිමය වැඩසටහනක් වන RAPIDA සහ GRADE භාවිත කරමින් අවශ්‍යතා තක්සේරු කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු අග්‍රාමාත්‍යවරියට ඉදිරිපත් කළ අතර ඒ හරහා ආපදා තත්ත්වයන්ගේ බලපෑමට ලක් වූ ස්ථාන, ප්‍රජාවන්, සහ යටිතල පහසුකම්වලට සිදු වූ හානි ඇස්තමේන්තු කරමින් අවශ්‍ය තීරණ ගැනීම සඳහා උපකාරී වන බව තවදුරටත් පැහැදිලි කළහ.