Spread the love

බටලන්ද වාර්තාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙන බව අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

ඒ අනුව බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීමටද රජය තීරණය කර ඇති බවයි ඊයේ (14) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

අදාළ වාර්තාව සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදු කිරිම සදහා කමිටුවක් පත් කිරීමත් ඉදිරියේදී සුදුසු අවස්ථාවකදී පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් සිදු කිරීමටද තීරණය කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

1989 දී රෝහණ විජේවීර ඇතුළු දස දහස් ගණනක පිරිසක් ඝාතනය කිරීමෙන් පසු ඉතිහාසයේ නිවැරදි පැත්තේ සිටගත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ සිත්වල ගල් පර්වතයක තරම් බරක් ඇති බවත් එහි බරින් කොටසක් 2024 සැප්තැම්බර් 21 වනදා නිදහස් කරගත් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එම බර සම්පූර්ණයෙන් නිදහස් කර ගැනීමට නම් එම අරගලය වෙනුවෙන් දිවිදුන් සියලුදෙනාට යුක්තිය හා සාධාරණත්වය ඉටු කළ යුතු බවත් ඒ සඳහා මුලු රටම විශාලා මහනුවරක් බවට පත් කළ බටලන්දේ ප්‍රධාන වධකයා ඇතුළු ප්‍රධාන අපරාධකරුවන්ට නීති මඟින් කටයුතු කළ යුතු බවයි අමාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.