Spread the love

නිමල් රාජපක්ෂ-

බේරුවල ප්‍රදේශයට ඔබ්බෙන් වූ බටහිර  මුහුදේදී ආපදාවට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් නිරිපද්‍රිතව මුදා ගෙන ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව ඊයේ උදෑසන කටයුතු කෙරිණි.

ඒ අනුව, අංක OFAP-A-6309- NBO දරන ඩිංගි යාත්‍රාවෙන් 2026 නොවැම්බර් මස 21 වැනි දින මීගමුව පිටිපන ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති ධීවරයෙකු, ධීවර කටයුතු සිදුකරමින් සිටියදි, එම ඩිංගි යාත්‍රාව ආපදාවට පත්ව ඇති බවට, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් දැනුම් දීමක් සිදුකෙරිණි.

එම දැනුම්දීමට කඩිනමින් ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, ධීවරයා සෙවීමේ හා මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කරනු ලැබීය. ඒ අනුව, බේරුවල සිට නාවික සැතපුම් 12ක පමණ දුරකින් යුත් බටහිර මුහුදේ, යාත්‍රාව අක්‍රීය වීමෙන් ආපදාවට පත්ව අතරමන්ව තිබූ  ධීවර යාත්‍රාව සොයාගත් නාවික හමුදාව, ධීවර යාත්‍රාව සහ ධිවරයා නිරුපද්‍රිතව ගොඩබිමට රැගෙන ඒමට මෙලෙස කටයුතු කෙරිණි.