නිමල් රාජපක්ෂ-
මෙට්‍රෝ බස් සේවාව භාවිත කරන මගී ජනතාවට වඩාත් පහසු, විශ්වාසනීය සහ කාර්යක්ෂම ඩිජිටල් සේවාවක් ලබාදීමේ අරමුණින් LMT Go ජංගම දුරකථන යෙදුමේ පවතින අඩුපාඩු හඳුනාගැනීම සහ එය තවදුරටත් වැඩිදියුණු කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද දින (2026.11.04) පැවැත්විණි.
ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන්, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.
මෙහි විශේෂත්වය වූයේ LMT Go යෙදුම සැබවින්ම භාවිත කරන මගීන්ගේ අත්දැකීම්, ඔවුන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු සහ යෝජනා සෘජුවම සාකච්ඡාවට ලක් කිරීමයි.
එමෙන්ම මෙට්‍රෝ බස් මෙහෙයුම් කාර්ය මණ්ඩලයේ අත්දැකීම් සහ තාක්ෂණික සේවා සපයන ආයතනවල විශේෂඥ අදහස්ද සැලකිල්ලට ගනිමින්, යෙදුමේ පවතින දුර්වලතා මගහරවා ගැනීමටත්, මගී අවශ්‍යතාවලට වඩාත් හොඳින් ප්‍රතිචාර දක්වන ආකාරයට එහි පහසුකම් වැඩිදියුණු කිරීමටත් අවධානය යොමු කෙරිණි.
බස් රථ 10කින් සහ මාර්ග දෙකකින් නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ වූ මෙට්‍රෝ බස් සේවාව මේ වනවිට බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනක් ආවරණය කරමින් මාර්ග 7ක බස් රථ 122ක් දක්වා ව්‍යාප්ත වී තිබේ.
2027 වසරේදී තවත් නව බස් රථ 50ක් සේවාවට එක් කිරීමටත්, ඉදිරියේදී මහනුවර, යාපනය සහ ගාල්ල යන නගර වෙතද මෙට්‍රෝ බස් සේවාව ව්‍යාප්ත කිරීමටත් සැලසුම් කර ඇත.
පොදු ප්‍රවාහනයේ සැබෑ දියුණුව යනු බස් රථ සංඛ්‍යාව වැඩි කිරීම පමණක් නොව, මගියාට ලැබෙන සේවාවේ ගුණාත්මකභාවයද ඉහළ නැංවීමයි.
ඒ වෙනුවෙන් මගීන්ගේ අදහස්වලට සවන් දෙමින්, තාක්ෂණය සහ ප්‍රායෝගික අත්දැකීම් එක්කරගත් වඩාත් ජනතා හිතකාමී පොදු ප්‍රවාහන සේවාවක් ගොඩනැංවීම මෙම වැඩපිළිවෙළේ අරමුණයි.
මෙට්‍රො බස් සේවාවට පහසුකම් සපයන LMT Go යෙදුම වැඩි දියුණු කිරීම සඳහා වූ ඒකාබද්ධ සාකච්ඡාවට LMT Go යෙදුම ඔස්සේ මෙට්‍රො සේවාවන් ලබාගන්නා මගීහු, මෙට්‍රො මෙහෙයුම් කාර්ය මණ්ඩල, සහායක කණ්ඩායම්, තාක්ෂණ සේවා සපයන EIMSKY ආයතනය ඇතුළු ආයතන නියෝජනය කරමින් නිලධාරීහු සහ සේවක පිරිස් සම්බන්ධ වූහ.
