මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය සඳහා යොමු කිරිමේදී ඇතිවන ගැටලු නිරාකරණය කිරීම සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
සියලු විනිශ්චකාරවරුන් සහ අධිකරණ නිලධාරින් වෙත ඊයේ (23) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම චක්‍රලේඛය නිකුත්කර ඇති බව වාර්තා වේ.
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය සඳහා බන්ධනාගාර වෙත යොමු කිරීම මගින් බන්ධනාගාර සහ මත්ද්‍රව්‍ය පුනරුත්තාපන මධ්‍යස්ථානවල මේ වන විට දැඩි තදබදයක් හටගෙන ඇති බවට පසුගියදා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් අධිකරණ අමාත්‍යාංශයට ලිඛිතව දැනුම් දී තිබුණි.
අගුණකොළපැලැස්ස පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැඳවිය හැකි පුද්ගලයින් සංඛ්‍යාව 75ක් වුවද මේ වන විට එහි 140 දෙනෙකු සිටින අතර මහර බන්ධනාගාර පුනරුත්තාපන මධ්‍යස්ථානය තුළ රැඳවිය හැකි පුද්ගලයින් සංඛ්‍යාව 80ක් වුවද එහි 204 දෙනෙකු රඳවා සිටින බව ද බන්ධනාගාර මූලස්ථානය පවසයි.
පවතින ඉඩකඩ පහසුකම් පිළිබඳව අධිකරණය දැනුවත් කිරීමට කටයුතු කළ ද දිගින් දිගටම රැඳවියන් යොමුකිරීම නිසා ගැටලු සහගත තත්ත්වයක් හටගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙයි.
ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් පිළිබඳව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් දැනුම්දී තිබු අතර එම යෝජනා පිළිබඳව අවධානය යොමුකරන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව සියලු විනිසුරුවරුන්ට නව චක්‍රලේඛය මගින් දැනුම්දී තිබේ.
ඒ අනුව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනුරුත්තාපනය සඳහා යොමු කිරිමේදී පවතින ඉඩ පිළිබඳව බන්ධනාගාර අධිකාරිවරයාගෙන් වාර්තාක් ලබාගෙන රැඳවියන් යොමු කිරීම හෝ සියලු නඩු අවසානයේ පුනුරුත්තාපනයට යොමු කිරීම සිදුකළ යුතුව ඇත.
ඊට අමතරව හැකි සෑම අවස්ථාවකම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් බන්ධනාගාර පුනුරුත්තාපනයට යොමු නොකර පුනුරුත්තාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශයේ මධ්‍යස්ථාන, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ මධ්‍යස්ථාන හෝ ප්‍රජා විෂෝධනය සඳහා යොමු කිරීම සිදුකළ යුතු බව අධිකරණ සේවා කොමිෂන් සභාව දැනුම්දී තිබේ.