නිමල් රාජපක්ෂ-
මෙරට මද්‍යසාර භාවිතය හේතුවෙන් ඇතිවන සෞඛ්‍ය, සමාජීය හා ආර්ථික බලපෑම් අවම කිරීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකාවේ මද්‍යසාර පාලනය සඳහා වන ආයෝජන වාර්තාව සහ මද්‍යසාර භාවිතය නිසා සිදුවන හානිය තුරන් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන උපාය මාර්ග ඇතුළත් තාක්ෂණික උපදේශන ගොනුව “Release of the Investment Case on Alcohol Control and Launch of the WHO SAFER Technical Package in Sri Lanka” නිල වශයෙන් එළිදැක්වීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්භාජිරාඕ පාණ්ඩව් (Dr. Rajesh Sambhajirao Pandav) මහතාගේ සහභාගීත්වයෙන ඊයේ (27) කොළඹ NH Collection හෝටලයේ දි සිදු කෙරිණි.
ශ්‍රී ලංකාව තුළ මද්‍යසාර භාවිතය පාලනය කිරීම, මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සහ ආර්ථිකමය බලපෑම් අවම කිරීම අරමුණු කරගත් සුවිශේෂී ජාතික වැඩසටහනක් වූ මෙම වැඩසටහන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), මද්‍යසාර වැළැක්වීම මඟින් මානව සහ සමාජ සංවර්ධනය ඇති කිරීම සඳහා කැප වූ ලොව විශාලතම ස්වාධීන ගෝලීය සංවිධානය වන Movendi International සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ බෝනොවන රෝග පිළිබඳ එක්සත් ජාතීන්ගේ අන්තර්-නියෝජිත කාර්ය සාධක බලකාය (UN Interagency Task Force on NCDs) යන ආයතනවල සහයෝගයෙන් සංවිධානය කරන ලදී.
මෙහිදී “ශ්‍රී ලංකාව තුළ මද්‍යසාර පාලනයේ සෞඛ්‍යමය සහ ආර්ථිකමය බලපෑම: ආයෝජනය සඳහා වන සාධක” (The Health and Economic Impacts of Alcohol Control in Sri Lanka: The case for investment) යන නිල ආයෝජන වාර්තාව ජනගත කිරීම ද සිදුකළ අතර, මද්‍යසාර “මත්පැන් ආශ්රිත හානිවලින් තොර ලෝකයක්” බිහිකිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වා දී ඇති ‘SAFER’ ප්‍රධාන උපායමාර්ග තාක්ෂණික උපදේශන ගොනුව මෙරටට හඳුන්වා දීම ද නිල වශයෙන් සිදු කෙරිණි.
මද්‍යසාර භාවිතයෙන් ඇතිවන හානි සෞඛ්‍ය ක්ෂේත්රයට පමණක් සීමා නොවී සමාජීය හා ආර්ථික වශයෙන්ද රටට දැඩි බලපෑමක් එල්ල කරන බව ද රටේ සංවර්ධනයට බරපතළ බාධාවක් බව ද පැවසීය. රජය කිසිදු ආර්ථික ලාභයක් හෝ කර්මාන්තමය වාසියක් ජනතාවගේ සෞඛ්‍යයට වඩා ඉහළින් නොතබන බව අවධාරණය කළ අමාත්‍යවරයා, ජනතාවගේ ජීවිත හා සෞඛ්‍යය ආරක්ෂා කිරීම රජයේ ප්‍රමුඛතම වගකීම බවද ප්‍රකාශ කළේය.
විශේෂයෙන් තරුණ පරපුරේ ආරක්ෂාව පිළිබඳ රජය වැඩි අවධානයක් යොමු කරන බවත් ඩිජිටල් යුගයට ගැළපෙන පරිදි නියාමන ක්‍රමවේද ශක්තිමත් කිරීම සහ හානිකර පුරුදු සාමාන්‍යකරණය කිරීමට දරන උත්සාහයන් වැළැක්වීම සඳහා නව ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා පැවසීය.
මෙම නව මාර්ග ක්‍රමවේදය මගින් ප්‍රජා මට්ටමින් වැළැක්වීමේ වැඩසටහන්, මුල් අවධියේ හඳුනා ගැනීම, ප්‍රතිකාර හා පුනරුත්ථාපන සේවාවන් සෞඛ්‍ය පද්ධතිය තුළ තවදුරටත් ඒකාබද්ධ කරන බවද එය නීතිය ක්‍රියාත්මක කිරීම පමණක් නොව, සහයෝගය, සංවේදීත්වය සහ කාලෝචිත මැදිහත්වීම් මත පදනම් වූ ප්‍රවේශයක් බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. මේ සඳහා රාජ්‍ය ආයතන, සෞඛ්‍ය අංශය, සිවිල් සමාජ සංවිධාන සහ සියලු පාර්ශ්වයන් එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මද්‍යසාර භාවිතයෙන් සිදුවන හානි අවම කිරීම දේශපාලන සීමාවන් ඉක්මවා යන ජාතික වගකීමක් බවද සඳහන් කළේය.
අවසාන වශයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ජනතාවගේ සෞඛ්‍යයට හානි සිදුකරමින් ලාභ ලබන පාර්ශ්වයන්ගේ බලපෑම් හමුවේ රජය කිසිදු අවස්ථාවක පසුබට නොවන බවයි. සියලුම පුරවැසියන්ට වැළැක්විය හැකි මත්ද්‍රව්‍ය හා මද්‍යසාර ආශ්රිත හානිවලින් තොර, සෞඛ්‍ය සම්පන්න, ආරක්ෂිත සහ ඵලදායී ජීවිතයක් ගත කළ හැකි ශ්‍රී ලංකාවක් ගොඩනැගීම රජයේ අරමුණ බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
SAFER මඟින් රටවල්වලට මද්‍යසාර භාවිතය නිසා ඇතිවන රෝග, මරණ සහ සමාජීය හානි අවම කිරීම සඳහා විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූ ප්‍රධාන උපායමාර්ග 05 ක් හඳුන්වා දෙන අතර, ශ්‍රී ලංකාවේ මද්‍යසාර පාලන ප්‍රතිපත්ති තවදුරටත් ශක්තිමත් කිරීමට මෙය ඉතා වැදගත් පියවරක් ලෙස සැලකේ. මෙහිදී WHO ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය රාජේෂ් පණ්ඩව් මහතා ශ්‍රී ලංකාවේ SAFER Technical Package ක්‍රියාත්මක කිරීම පිළිබඳ අදහස් දක්වන ලද අතර, WHO SEARO කලාපීය උපදේශක වෛද්‍ය ඇන්ඩ්‍රියා බෲනි මහතා Dr. Andrea Burni (WHO SEARO) WHO SAFER පැකේජය පිළිබඳ කලාපීය දෘෂ්ටිකෝණය මෙහිදි පැහැදිලි කළාය. එමෙන්ම මෙහිදී කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රජා වෛද්‍ය විහේෂඥ නදීකා චන්ද්‍රරත්න මහත්මිය ශ්‍රී ලංකාවේ මද්‍යසාර පාලනය පිළිබඳ Alcohol Investment Case වාර්තාව ඉදිරිපත් කළේය.
“Strengthening Alcohol Control in Sri Lanka: From Investment Case to Implementation” තේමාව යටතේ තාක්ෂණික සැසිවාරයක් ද මෙහිදි පැවැත්විණි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, මානසික සෞඛ්‍ය අධ්යක්ෂ වෛද්‍ය එරංගා රාජපක්ෂ, දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ (NATA) සභාපති වෛද්‍ය ආනන්ද රත්නායක, Movendi International සංවිධානයේ උප සභාපති පුබුදු සුමනසේකර යන මහත්ම මහත්මින් මෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ හවුල්කාර අමාත්‍යාංශවල නිලධාරීන්, UNDP නියෝජිතයින්, කොළඹ විශ්ව විද්‍යාලයේ සහ අනෙකුත් විශ්ව විද්‍යාලයේ නියෝජිතයින් ඇතුළු වෛද්‍ය පීඨයේ සහ වෘත්තීය සංගම් කීර්තිමත් සාමාජිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
