නිමල් රාජපක්ෂ
කොළඹ මධ්යම තැපැල් හුවමාරුවේදී සිදුකරන ලද මෙහෙයුමකදී රුපියල් 60,265,000 ක ඇස්තමේන්තුගත වීදි වටිනාකමකින් යුත් මත්ද්රව්ය තොගයක් අත්අඩංගුවට ගැනීමට ශ්රී ලංකා රේගුවේ මත්ද්රව්ය පාලන අංශයේ (NCU) සහ මද්යම තැපල් අංශයේ රේගු නිලධාරීන් සමත්වී ඇත. තායිලන්තය, ස්පාඤ්ඤය, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල සිට එවා තිබූ විදේශීය තැපැල් පාර්සල් නවයක් තුළ සඟවා තිබියදී කුෂ් ගංජා, හෂීෂ්, එක්ස්ටසි පෙති සහ කොකේන් ඇතුළු මත්ද්රව්ය මෙම මෙහෙයුමේදී සොයාගෙන තිබේ.
පසුගිය මාස කිහිපය තුළ විදේශයන්හි සිට ලැබෙන තැපැල් භාණ්ඩ පරීක්ෂා කිරීමේදී රේගු මත්ද්රව්ය පාලන අංශයේ නිලධාරීන් හා මද්යම තැපැල් අංශයේ නිලධාරීන් විසින් මෙම සැකකටයුතු පාර්සල් හඳුනාගෙන තිබුණි. අනතුරුව, අදාළ පාර්සල් ඒවායේ නියමිත ලබන්නන් විසින් භාරගන්නා තෙක් රඳවා තබා ගැනීමට රේගු නිලධාරීන් පියවර ගෙන තිබූ අතර, ලබාදී තිබූ කාලසීමාව තුළ එම පාර්සල් භාරගැනීමට ලබන්නන් ඉදිරිපත් නොවීම හේතුවෙන් පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ (PNB) නිලධාරීන් ඉදිරිපිට ඒවා විවෘත කර පරීක්ෂා කිරීමට කටයුතු යොදා ඇත.
ඒ අනුව, ශ්රී ලංකා රේගු මත්ද්රව්ය පාලන අංශයේ නිලධාරීන්, මද්යම තැපැල් අංශයේ රේගු නිලධාරීන් සහ පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ නිලධාරීන් එක්ව කොළඹ මධ්යම තැපැල් හුවමාරුවේදී මෙම පාර්සල් නවයම විස්තරාත්මක පරීක්ෂාවකට ලක් කරන ලදී. එහිදී තායිලන්තයෙන් පාර්සල් තුනක් ද, ස්පාඤ්ඤයෙන් පාර්සල් දෙකක් ද, එක්සත් රාජධානියෙන් පාර්සල් දෙකක් ද සහ ඇමරිකා එක්සත් ජනපදයෙන් පාර්සල් දෙකක් ද එවා තිබූ බව අනාවරණය වී තිබේ.
මෙම පරීක්ෂාවේදී රුපියල් 49,340,000 ක ඇස්තමේන්තුගත වීදි වටිනාකමකින් යුත් කුෂ් ගංජා ග්රෑම් 4,934 ක් සොයාගෙන ඇත. මීට අමතරව, රුපියල් 10,350,000 ක වටිනාකමකින් යුත් හෂීෂ් ග්රෑම් 1,035 ක් ද, රුපියල් 375,000 ක වටිනාකමකින් යුත් එක්ස්ටසි පෙති ග්රෑම් 25 ක් ද, රුපියල් 200,000 ක වටිනාකමකින් යුත් කොකේන් ග්රෑම් 4 ක් ද නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.
ඒ අනුව, මෙම මෙහෙයුමේදී සොයාගත් මත්ද්රව්යවල සමස්ත ඇස්තමේන්තුගත වීදි වටිනාකම රුපියල් 60,265,000 ක් වේ.
මධ්යම තැපැල් හුවමාරුවේදී මූලික විමර්ශන කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව, ඉදිරි විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා අත්අඩංගුවට ගත් මත්ද්රව්ය පොලිස් මත්ද්රව්ය කාර්යාංශය වෙත භාරදීමට ශ්රී ලංකා රේගු නිලධාරීන් කටයුතු කර ඇත.
