Spread the love

නිමල් රාජපක්ෂ 

මාතර, නාවිමන පිහිටි සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය වෙත පවරා දීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවීමත් සමඟ එහි ඉදිරි සංවර්ධන කටයුතු සැලසුම් කිරීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.


ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී. එම්. ආර්. ඩී. අපොන්සු මහතා සහ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ මූලිකත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී මධ්‍යස්ථානයේ වත්මන් තත්ත්වය, දැනට ඉදිකර ඇති ගොඩනැගිලිවල භාවිතය සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව අවධානය යොමු කෙරිණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නලින් ප්‍රසන්න රත්නායක මහතා ඇතුළු නිලධාරීන්, රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් ඇතුළු නිලධාරීන්, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්, මාතර දිස්ත්‍රික් ලේකම් ඇතුළු නිලධාරීන් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීහු සහභාගී වූහ.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී. එම්. ආර්. ඩී. අපොන්සු මහතා අවධාරණය කළේ මෙම ව්‍යාපෘතිය ජාතික සැලැස්මකට අනුව විධිමත්ව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයි.
ඒ අනුව දැනට ඉදිකර ඇති ගොඩනැගිලිවල වත්මන් තත්ත්වය සහ ඒවායේ ප්‍රයෝජනවත්භාවය පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමටත්, ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව සමඟ සාකච්ඡා කර අවශ්‍ය තොරතුරු හා යෝජනා ලබා ගැනීමටත් මෙහිදී යෝජනා විය.

එම කටයුතු සිදු කිරීමෙන් අනතුරුව සති කිහිපයක් ඇතුළත නැවත සාකච්ඡාවක් කැඳවා ව්‍යාපෘතියේ ඉදිරි සැලසුම් සහ ක්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළ පිළිබඳව තීරණ ගැනීමට ද මෙහිදී එකඟතාව පළ විය.

මෙම වැඩපිළිවෙළ තුළින් මාතර නාවිමන සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනික හා පුහුණු කටයුතු සඳහා ඵලදායී ලෙස යොදා ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම අපේක්ෂා කෙරේ.