ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් මාදුරු ඔය ජලාශයට කඩා වැටුණේ තම වරදකින් නොවන බවත්, යානයේ ඇති වූ කාර්මික දෝෂයක් ඊට හේතු වන්නට ඇති බවට තමන් සිතන බවත්, හිගුරක්ගොඩ ගුවන් හමුදා මූලික කදවුරේ අංක 07 හෙලිකොප්ටර් බලගනයේ ප්රධාන ගුවන් නියමු පෝලන් ජයවර්ධන ප්රකාශ කළා.
ඒ, පසුගිය මැයි මස 09 වනදා බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටී හමුදා සාමාජිකයින් 06 දෙනෙකු මියයාමේ සිද්ධියට අදාළ නඩුව දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්රාත් ප්රියන්ත යාල්හාල හමුවේ ඊයේ කැදවූ අවස්ථාවේදීයි.
මෙම අනතුරේදී යානයේ නියමුවන් දෙදෙනා ඇතුළු තවත් හය දෙනෙකු තුවාල ලැබුවා.
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කදවුරේ සිට පැමිණි මෙම යානය මාදුරු ඔය යුද හමුදා විශේෂ බලකා කඳවුරට ගොඩ බස්සා නිදර්ශන චාරිකාවක් සඳහා යළි ගුවන් ගත වූ යානය තප්පර 30ක් ඇතුළත තම පාලනයෙන් මිදී මාදුරු ඔය ජලාශයට කඩා වැටුණු බවයි එහි නියමුවා සාක්ෂි දෙමින් සඳහන් කළේ.
නඩුව මේ මස 21 වනදා යලි කැදවීමට නියෝග කළ දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්රාත්වරයා මියගිය හමුදා සාමාජිකයින්ගේ මරණ වලට හේතුව එදින ප්රකාශ කරන බව සඳහන් කළා.
