Spread the love

නිමල් රාජපක්ෂ

ජාතික ණය සුරැකුම් ආයතනය (National Credit Guarantee Institution) – NCGI සිය මෙහෙයුම් කටයුතු තවදුරටත් පුළුල් කරමින් කොළඹ HNB ටවර් හි 7 වන මහලේ ස්ථාපිත කරන ලද නව කාර්යාලය අද (07) නිල වශයෙන් විවෘත කළේය.

මෙම අවස්ථාවේ විශේෂත්වය වූයේ පසුගිය මාස 15ක කාලය තුළ නිකුත් කළ 2000 වැනි ඇපකර පත්‍රය සංකේතාත්මකව ප්‍රදානය කිරීමයි. එමඟින් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙත රුපියල් බිලියන 14කට අධික ණය පහසුකම් ලබා ගැනීමට මග සැලසී තිබේ.

ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ මුදල් අමාත්‍යාංශයේ සහයෝගයෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ ඇප නොමැති ව්‍යවසායකයන්ට මූල්‍ය ප්‍රවේශය පුළුල් කරමින් ව්‍යවසායකත්වය ශක්තිමත් කිරීමයි. වසර අවසානය වන විට ප්‍රතිලාභීන් සංඛ්‍යාව 4000 දක්වා ඉහළ නැංවීමටත්, දේශීය ආර්ථිකයට ලැබෙන දායකත්වය තවදුරටත් වර්ධනය කිරීමටත් NCGI අපේක්ෂා කරයි.

ජාතික ණය සුරැකුම් ආයතනය 2025 ජනවාරි මාසයේදී ඌව පළාතේ කෘෂිකාර්මික ව්‍යාපෘතියක් සඳහා පළමු ණය සුරැකුම නිකුත් කරමින් සිය මෙහෙයුම් ආරම්භ කළ අතර මෙම වැඩසටහනේ වැඩිම ප්‍රතිලාභ හිමිව ඇත්තේ බස්නාහිර, දකුණු සහ උතුරු පළාත්වල ව්‍යවසායකයින්ටය. එසේම, කාන්තා හිමිකාරිත්වය සහිත ව්‍යාපාර සඳහා සමස්ත ණය ප්‍රමාණයෙන් 20%ක් වෙන් වී ඇති අතර, කෘෂිකර්මාන්තය, තොරතුරු තාක්ෂණය (IT), සංචාරක කර්මාන්තය සහ අපනයන වැනි ප්‍රමුඛතා අංශ සඳහා 24%ක දායකත්වයක් හිමි වී ඇත.

මෙහිදී අදහස් දැක්වූ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සඳහන් කළේ, මෙරට මූල්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා රජය ඉදිරියේදී සංවර්ධන බැංකුවක් (Development Bank) සහ ශක්තිමත් සමුපකාර බැංකු පද්ධතියක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා ” ඒ දවස්වල මහජනතාව කිව්වා මේ වගේ දේවල් මේ වගේ රටවල් වල කරන්න බැහැ කියලා. ඉතින් ඒ අභියෝගය ඔයගොල්ලෝ සාර්ථකව විශ්වාසවන්තව අරගෙන තියෙනවා. රජයක් විදිහට අපි මූල්‍ය ක්ෂේත්‍රයේ ගැටලු කීපයක් අඳුනගෙන තියෙනවා. විශේෂයෙන්ම ව්‍යවසායකත්වයට උදව් වෙන මේ ඇප රහිත ණය ක්‍රමය. ඉතින් අපිට දැන් සතුටුයි. ඉදිරියට ඒ ණය ප්‍රමාණය වැඩි කරගෙන ප්‍රතිලාභීන් වැඩි කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඉස්සරහට අපි හිතනවා මේක තවදුරත් ශක්තිමත් වෙලා තමන්ගේ සේවාවන් ඉදිරියට ශක්තිමත්ව කරගන්න හැකියාව ලැබෙයි කියලා” යැයි ප්‍රකාශ කළේය.

එමෙන්ම, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ ආසියානු සංවර්ධන බැංකුව සමඟ එක්ව ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු සහ ව්‍යවසායකයන් මුහුණ දෙන හිමිකරු ප්‍රාග්ධන (Equity Financing) අභියෝග සඳහා තිරසාර විසඳුම් සෙවීමට කටයුතු කරන බවත් ඔහු පැවසීය.

පසුගිය වසරේ පෞද්ගලික බැංකු පද්ධතිය මඟින් රුපියල් ට්‍රිලියන 2.1ක ණය ප්‍රමාණයක් පෞද්ගලික අංශයට ලබා දී ඇති බව සිහිපත් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ව්‍යවසායකයන් සඳහා නව මූල්‍ය ක්‍රම හඳුන්වා දෙන ලෙස බැංකු සහ මූල්‍ය ආයතන වෙත ආරාධනා කළේය.

තවද, රටේ අපනයන ක්ෂේත්‍රය අභියෝග රැසක් මධ්‍යයේ වුවද සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරමින් ඉදිරියට යමින් පවතින බව සඳහන් කළ ඔහු, ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම හරහා දරිද්‍රතාවය තුරන් කිරීමට රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බව අවධාරණය කළේය.