Spread the love

නිමල් රාජපක්ෂ

මෙරට නාගරික ප්‍රවාහන සේවාව කාර්යක්ෂම කිරීම සඳහා ආරම්භ කරන ලද ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (පුද්.) සමාගමේ පරිපාලන හා මෙහෙයුම් කාර්යයන් වෙනුවෙන් තවත් 35 දෙනෙකු අළුතින් බඳවාගෙන ඇති අතර, ඊට අදාල පත්වීම් ලිපි ප්‍රදානය අද දින (2026.09.22) සිදුකෙරිණ. පත්වීම් ලිපි නිල වශයෙන් ප්‍රදානය බත්තරමුල්ල, ‘සුහුරුපාය’ 19 වන මහලේ පිහිටි ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී සිදුකෙරුනේ ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම නව බඳවා ගැනීම් සඳහා මෙට්‍රෝ බස් රථ රියදුරන් 14 දෙනෙකු, කොන්දොස්තරවරුන් 18 දෙනෙකු, සුපරීක්ෂකවරුන් දෙදෙනෙකු සහ විදුලි කාර්මික ශිල්පියෙකු ඇතුලත් වන අතර, ඔවුන් ලංකා මෙට්‍රෝ ට්‍රාන්සිට් (පුද්.) සමාගමට අන්තර්ග්‍රහණය කර ඇත. නව පත්වීම් ලැබූ සේවක පිරිස් අලුතින් ආරම්භ කර ඇති මෙට්‍රෝ ඩිපෝ අංගන මූලික කරගනිමින් ක්‍රියාත්මක මෙට්‍රෝ මාර්ග හතෙහි ගමනාගමන සේවා සඳහා යෙදවීමට නියමිතය.

පත්වීම් ප්‍රදානය හා එක්වෙමින් නවක පත්වීම්ලාභීන් ආමන්ත්‍රණය කල ප්‍රසන්න ගුණසේන නියෝජ්‍ය අමාත්‍යවරයා :
‘රටේ පරිවර්තනයක් ඇති කරන්න, බලයට පැමිණ සිටින මේ රජයට දැන් අවුරුදු දෙකයි. මීට අවුරුදු දෙකකට කලින් අපි ජනතාවට කිව්ව රටේ පරිවර්තනයකට බලය දෙන්න කියලා. අපි කිව්වේ ප්‍රධාන කරුණු තුනක් අරඹයා පරිවර්තනය කරන්න ඕනි කියලා. ඒ ප්‍රධාන පර්වර්තන තුන තමයි මේ රටේ දේශපාලන පරිවර්තනය, සමාජ පරිවර්තනය සහ ආර්ථික පරිවර්තනය. රටේ ජනතාව අපිට විශාල බලයක් දුන්නා ආර්ථික, සමාජයීය සහ දේශපාලනික පූර්ණ පරිවර්තනයකට. ඒ පරිවර්තනය වෙනුවෙන් ඊයෙ වගේ දිනයක මේ රටේ ජනතාව සිය ඡන්දය පාවිච්චි කලා. අද වගේ දවසක ඒ පරිවර්තනයට බලය ලැබුණා. අන්න ඒ අලුත් පරිවර්තනයත් එක්ක තමයි මේ රටට නව ප්‍රවාහන සංස්කෘතියක් ගේන්න හැකිවෙලා තියන්නේ. ඒ ප්‍රවාහන සංස්කෘතිය, පරිවර්තනය ජනතාව වැළඳගෙන තියෙනවා. මීට වසර දෙකකට කලින් ආරම්භ කල නව සංස්කෘතිය දිගුවක් වෙලා ඉදිරියට යාම තමයි බලාපොරොත්තුව. ඒ සංස්කෘතිය රිවස් වෙන්න දෙන්න බෑ; එය තවතවත් පුළුල් කරන්න ඕනි. අද තියන්නේ වැඩකරන පංතිය නියෝජනය කරන ආණ්ඩුවක්. ඒ ආණ්ඩුව යටතේ සියලු දෙනාටම සමානාත්මතාවයෙන් සලකන පාලනයක් මේ වනවිට ක්‍රියාත්මක වෙනවා.’

මෙම අවස්ථාවට මෙට්‍රෝ ට්‍රාන්සිට් (පුද්.) සමාගමේ සභාපති ඉංජිනේරු යූ.පී. තිලකරත්න, එහි ප්‍රධාන විධායක නිලධාරි ඉංජිනේරු බී.එම්. පියතිලක, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) එම්.එස්. අවන්ති සේනාරත්න, එහි වෘත්තීය සමිති ලේකම් එස්.පී. විතානගේ යන මහත්ම මහත්මීහු ඇතුළු නිලධාරීහු ද පත්වීම්ලාභීහු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් රැසක් ද එක්ව සිටියහ.