නිමල් රාජපක්ෂා
ශ්‍රී ලංකා ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ (Neurosurgeons Association of Sri Lanka) NEUROSURG 2026, 05 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරය (5th Annual Academic Sessions) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ ස්නායු ශල්‍ය වෛද්‍ය ඉතිහාසයට වසර 70ක් සපිරීම සනිටුහන් වන මෙම වසරේදී පැවැත්වෙන මෙම සැසිය මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් විය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා NEUROSURG 2026, 05 වන වාර්ෂික අධ්‍යයන සැසිවාරයේ දී අදහස් දක්වමින් පසුගිය දශක හතක කාලය තුළ ශ්‍රී ලංකාවේ ස්නායු ශල්‍ය වෛද්‍ය ක්ෂේත්රය අතිශය දුෂ්කරතා මධ්‍යයේ වුවද ජාත්‍යන්තර මට්ටමේ ගෞරවයට පාත්‍ර වූ විශිෂ්ට සේවාවක් දක්වා වර්ධනය වී ඇති බව පැවැසීය.රෝගී සත්කාරය, අධ්‍යාපනය, පර්යේෂණ සහ නවෝත්පාදන වෙනුවෙන් මෙරට ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් දක්වන කැපවීම ද මෙහිදී ඇගයිමට ලක් කරන ලදි.
නූතන සෞඛ්‍ය ක්ෂේත්රය තුළ තනි පුද්ගලයෙකුට හෝ එක් ක්ෂේත්රයකට පමණක් සීමා වී සාර්ථකත්වයක් ලබාගත නොහැකි බවත්, ඉහළම ප්‍රතිඵල ලබාගත හැක්කේ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද කාර්ය මණ්ඩලය ඇතුළු සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සහයෝගීතාවයෙන් බව ද අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.
අනාගත අභියෝගයන්ට මුහුණ දීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කැපවී කටයුතු කරන බවත්, විශේෂඥ සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම, පශ්චාත් උපාධි වෛද්‍ය අධ්‍යාපනය නංවාලීම, රෝහල් යටිතල පහසුකම් සහ නවීන තාක්ෂණය පුළුල් කිරීම රජයේ ප්‍රමුඛතාවක් බව ද පැවැසීය. එමෙන්ම, දක්ෂ තරුණ වෛද්‍යවරුන් මෙම ක්ෂේත්රයට ආකර්ෂණය කර ගැනීම සඳහා අවශ්‍ය පුහුණු වැඩසටහන් සහ සුදුසු සේවා පරිසරයක් නිර්මාණය කිරීමේ වැදගත්කම ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දෙන ලදී.
“A Collaborative Approach to Neurosurgical Excellence in Sri Lanka” (ශ්‍රී ලංකාවේ ස්නායු ශල්‍යකර්ම ක්ෂේත්රයේ විශිෂ්ටත්වය උදෙසා සහයෝගී ප්‍රවේශයක්) යන තේමාව යටතේ දේශීය හා විදේශීය විශේෂඥයන්ගේ සහ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් මෙවර වාර්ෂික අධ්‍යයන සැසිවාරය පැවැති අතර ශ්‍රී ලංකාවේ ස්නායු ශල්‍ය වෛද්‍ය ක්ෂේත්රයේ වෘත්තීය දැනුම, නවීන වෛද්‍ය තාක්ෂණය හා විශේෂඥ අත්දැකීම් හුවමාරු කර ගැනීම, රට තුළ ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ සේවය පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම මෙන්ම ස්නායු ශල්‍ය වෛද්‍ය ක්ෂේත්රයේ නව ප්රවණතා හා ඉදිරි අභියෝග පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.
ශ්‍රී ලංකා ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය නිරුක්ෂාන් ජයවීර මහතාගේ සභාපතිත්වයෙන් පැවැති සැසිවාරයට විශේෂ ආරාධිත අමුත්තා ලෙස කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක සහ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස ආසිරි ශල්‍ය රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය සුනිල් පෙරේරා යන මහත්වරුන් සහභාගි වෙමින් මෙහිදී ස්නායු ශල්‍ය වෛද්‍ය සේවාව පිළිබඳ විශේෂ දේශණ ද පවත්වන ලදි.
මෙවැනි වාර්ෂික අධ්‍යයන සැසිවාර හරහා මෙරට ස්නායු ශල්‍ය වෛද්‍ය සේවාවේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නැංවීමටත්, නවීන වෛද්‍ය දැනුම හා තාක්ෂණය පිළිබඳ අවබෝධය පුළුල් කිරීමටත් මෙන්ම රෝගීන් සඳහා වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක ප්‍රතිකාර සේවාවක් ලබාදීමටත් වැදගත් දායකත්වයක් සැපයෙනු ඇත.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සමන් පුෂ්පකුමාර සහ එම සංගමයේ හිටපු සභාපතිවරුන් මෙන්ම ශ්‍රී ලංකා ස්නායු ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජික මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
