Spread the love

මෑත කාලයක පටන් යුද්ධ හමුදාවේ පරිපාලන කටයුතු වෙනුවෙන් ගන්නා වූ තීන්දු තීරණ පිළිබඳ කිසිඳු අවබෝධයකින් තොරව එම පරිපාලන කටයුතු පිළිබඳ ව්‍යාජ අර්තකථන දක්වමින් මහජනතාව අතර යුද්ධ හමුදාව පිළිබඳ වැරදි ප්‍රතිරූපයක් ඇති කිරීමට විවිධ පුද්ගලයන් විසින් උත්සාහ දරණ බව පෙනීයයි.

විශේෂයෙන් යුද්ධ හමුදාව විසින් කූඨ ලේඛණ පිළියෙල කර ජනාධීපතිතුමාගේ අනුමැතියකින් තොරව යුද්ධ හමුදා නිලධාරීන් ප්‍රමාණයක් විශ්‍රාම ගැන්වීමට කටයුතු කර ඇති බවට, මාධ්‍ය තුලින් පළවූ ව්‍යාජ පුවත මහජනතාව අතර කතාබහට ලක්වී ඇත.

යුද්ධ හමුදාව යනු නිලධාරීන් සහ සෙසුනිළයින් යන කොටස් දෙකකින් සමන්විත ආයතනයක් වන අතර, එහි නිලධාරීන්ගේ සංයුතිය නිර්මාණය වී තිබෙන්නේ පිරමීඩාකාර හැඩයකින් වේ. එහි පහළ ස්තරවල නිලධාරීන් වැඩිපිරිසක්ද,ඊට සාපේක්ෂව ඉහළ ස්තරවල නිළයන් සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු අගයක් ගනී.

ඒ අනුව මේ සෑම ස්තරයකදීම යම්කිසි නිලධාරීන් ප්‍රමාණයකට යුද්ධ හමුදා සේවයෙන් ඉවත්වීමට සිදුවන අතර, නිලධාරීන් තෝරාගැනීමේදී ඒ සඳහා නිර්ණායක යුද්ධ හමුදාව විසින් හඳුන්වා දී ඇත. මේ සියළු නිර්ණායක සකස් කර ඇත්තේ 1981 යුද්ධ හමුදා විශ්‍රාම වැටුප් හා පාරිතෝශිත ව්‍යවස්ථා සංග්‍රහය හා යුද්ධ හමුදා නිලධාරී සේවා රෙගුලාසි මාලාව මගින් සලසා ඇති විධිවිධාන අනුව වේ.

මෙම සෑම ස්තරයකදීම ඉන් ඉහළ ස්තරයට නිළධාරීන් උසස්කිරීම සඳහා ඔවුන්ව යුද්ධ හමුදා තේරීම් මණ්ඩල හා උපදේශක මණ්ඩල කිහිපයක් මගින් ගුණාත්මක හා ප්‍රමාණාත්මක ලෙස ඇගයීමේ ක්‍රියාවලියකට ලක් කරනු ලබයි. එහිදී එම නිර්ණායක වලට අනුව සුදුසුකම් සපුරාලීමට හැකිවූ නිලධාරීන් පමණක් උසස්වීම් ලබන අතර, අනෙකුත් නිළධාරීන් හට යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැනීමට සිදු වේ.

මෙම උපදේශක මණ්ඩල සඳහා යුද්ධ හමුදාවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් 10ක් 15ක් අතර ප්‍රමාණයකින් සමන්විත වන අතර, එම මණ්ඩල මගින් ලබාදෙන නිර්දේශ වලට අනුව යුද්ධ හමුදා නිලධාරීන්ගේ ඉදිරි ප්‍රගමනය පිළිබඳව යුද සේවා ලේකම් කාර්යාලය මගින් කටයුතු කරනු ලබයි.

මෙම සෑම ක්‍රියාමාර්ගයක්ම අවසානයේදී යුද්ධ හමුදාධීපතිතුමා විසින් ආරක්ෂක අමාත්‍යංශය හරහා සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමාගේ අනුමැතිය ලබාගැනීමෙන් පසු සිදු කරනු ලබයි. මෙලෙස නිසි ක්‍රමවේදයක් ඔස්සේ ගනු ලැබූ තීන්දු තීරණ පිළිබඳව නිසි අවබෝධයක් නොමැති විවිධ පුද්ගලයින් විසින් මෑතක සිට වැරදි ලෙස අර්තකථනය කරමින් ව්‍යාජ පුවත් සමාජගත කිරීමට උත්සාහ කරන බව නිරීක්‍ෂණය වී ඇත