Spread the love

රජයේ ඩිජිටල් ආර්ථික සැලැස්මේ ප්‍රධාන අංගයක් ලෙස, රාජ්‍ය අංශය තුළ ආයතනික මට්ටමින් ඩිජිටල් පරිවර්තනයක් ඇති කිරීම සඳහා “මහජන සේවා ප්‍රශස්තකරණය සඳහා බලපෑම් කළ හැකි ආයතනික නියමු ජාලය” (Public Impact Champions Network PIC-Net) ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ.

රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නංවා මහජනතාවට වඩාත් ගුණාත්මක සේවාවක් සැපයීම මෙහි අරමුණ වන අතර, මේ පිළිබඳව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින්  චක්‍රලේඛයක් මගින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල්වරුන්, කොමසාරිස් ජනරාල්වරුන්, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල සභාපතිවරුන් දැනුවත් කරනු ලැබ තිබේ. 

PIC-Net වැඩසටහන යටතේ, තෝරාගත් සෑම රාජ්‍ය ආයතනයක්ම ඩිජිටල් යුගයේ සේවා විශිෂ්ටත්වය ප්‍රවර්ධනය සඳහා සාමුහිකව වගකියන නියමුවන් සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සමස්ත සේවක පිරිස අතරින් තෝරා පත්කර ගත යුතුය. තාක්ෂණික භාවිතය, සේවා අත්දැකීම්, ක්‍රියාවලි කාර්යක්ෂමතාව සහ ආයතනික වෙනස්කම් යන අංශ ඒකාබද්ධව හා මනා සම්බන්ධීකරණයකින් වැඩිදියුණු කිරීමට මෙම කණ්ඩායම සාමුහිකව කටයුතු කරනු ඇත.

මෙම නියමුවන් ඔවුන්ගේ ආයතන තුළ ක්‍රියාවට නැංවෙන ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලියෙහි කේන්ද්‍රීය බලවේගය ලෙස කටයුතු කරනු ඇති අතර, මෙම වැඩසටහන මගින් රාජ්‍ය අංශය පුරා විසිරුණු 400 දෙනෙකුගෙන් පමණ සමන්විත ඩිජිටල් පරිවර්තන නියමුවන්ගේ ජාතික කණ්ඩායමක් නිර්මාණය වේ.

තෝරාගනු ලබන නියමුවන්ට ඩිජිටල් පරිවර්තනය, සේවා ප්‍රතිසැලසුම්කරණය, ක්‍රියාවලි වැඩිදියුණු කිරීම, වෙනස්කම් කළමනාකරණය ආදී කරුණු පිළිබඳ ප්‍රායෝගික කුසලතා ගොඩනැංවීම සඳහා විධිමත් පුහුණුවක් ලබා දීම, ප්‍රායෝගික වැඩමුළු පැවැත්වීම සහ විශේෂඥ මගපෙන්වීම් ලබා දීම ආදිය සිදු කෙරෙනු ඇත.

මෙම නියමුවන් ඩිජිටල් පරිවර්තනය සඳහා වන ආයතනික කේන්ද්‍රීය නිලධාරීන් ලෙස වැඩසටහනේ ක්‍රියාත්මක කාල සීමාවෙන් ඔබ්බට ක්‍රියා කරමින්, ආයතන තුළ සහ ආයතන අතර දැනුම් හා අත්දැකීම් බෙදා ගැනීම හා අඛණ්ඩව වර්ධනය සඳහාද සක්‍රියව සහාය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම සමස්ත ක්‍රියාවලිය තුළ අවශ්‍ය මඟපෙන්වීම සහ සම්බන්ධීකරණ සහාය ජනාධිපති ලේකම් කාර්යාලය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ GovTech Sri Lanka ආයතනය එක්ව ලබා දෙනු ඇත. ආසියානු සංවර්ධන බංකුවේ (ADB) සහාය ඇතිව වැඩසටහනේ කළමනාකරණ උපදේශකයින් පත් කරනු ලැබ ඇති අතර ආයතන ප්‍රධානීන් විසින් යෝජනා කරනු ලබන නියමුවන් තේරීමේ ක්‍රියාවලිය සඳහාද ඔවුන් සහාය වනු ඇත.