.
නිමල් රාජපක්ෂ
රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි දෙකකට අධික මුදලක් වංචාකළ හගුරන්කෙත ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රිවරයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් මැයි මස 01 දින අත්අඩංගුවට ගෙන තිබේ.
හගුරන්කෙත, රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ පදිංචි සැකකරු හා ඔහුගේ බිරිඳ විසින් රුමේනියාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා ලබාදෙන බව පවසා දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි කාන්තාවන් හා පිරිමි පුද්ගලයින් රවටා රුපියල් ලක්ෂ 213 ක මුදලක් වංචාකළ බවට කාර්යාංශයට පැමිණිලි 16 ක් ලැබී තිබිණි. මෙම ජාවාරම්කරුවන් මුදල් ලබාගන්නා පුද්ගලයින් වෙත රැකියා ගිවිසුම්ද ලබාදෙන බවට පැමිණිලිකරුවන් හෙළි කර තිබේ.
මෙහි ප්‍රධාන සැකකරු මීට පෙර වසර 2 ක කාලයක් රුමේනියාවේ රැකියාව කර මෙරටට පැමිණි පුද්ගලයෙකු වන අතර, එය උපයෝගි කරගනිමින් මෙම ජාවාරම මෙහෙයවා තිබේ. කාර්යාංශ විමර්ශන නිළධාරීන්, රාජ්‍ය බුද්ධි අංශයේ (SIS) නිළධාරීන් සමග මෙම ජාවාරම පිළිබඳව තොරතුරු සොයාබැලූ අතර, එහිදී සැකකරු රිකිල්ලගස්කඩ ප්‍රදේශයෙන් පලාගොස් කඩුගන්නාව ප්‍රදේශයේ කුලී නිවසක සැගවී සිටින බවට තොරතුරු අනාවරණය විය.
ඒ අනුව ප්‍රධාන සැකකරු හා ඔහුට මෙම ජාවාරමට සහාය වූ බිරිඳ අත්අඩංගුවට ගෙන මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මැයි මස 04 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙම අත්අඩංගුවට ගැනීම සඳහා මධ්‍යම අපරාධ විමර්ශන අංශයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ අධික්ෂණය යටතේ, කාර්යාංශ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.බී.ආරියසිංහ මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක ටී.බී. ද අල්විස් මහතා ඇතුළු පිරිසක් සහභාගි විය.
