Spread the love

පැය 8ක වැඩමුරයක් ඉල්ලා ඇරඹුණු කම්කරු සටනක් මහා ලේ වැගිරීමකින් කෙළවර වූයේ, එක්තරා දිනයක් ලෝකයට කිසිදා අමතක නොවන ලෙස සලකුණු කරමිනි. ඒ ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් මැයි දිනය යි.

ඒ 1886 අද වැනි දිනක අමෙරිකාවේ චිකාගෝ නගරය උණුසුම් වූයේ අසාධාරණයට එරෙහිව නැගී සිටි කම්කරු පිරිසකගේ විරෝධතාවක් හේතුවෙනි. පසුව එම දිනය ලොව පුරා වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් අවධාරණය කරන සුවිශේෂී දිනය බවට පරිවර්තනය විය.

ඒ අනුව දිනකට පැය අටක වැඩ ඉල්ලා චිකාගෝ නුවර පැවති අරගලයේ ප්‍රතිඵලයක් ලෙස 1886 මැයි පළමුවනදා සිට ජාත්‍යන්තර කම්කරු දිනය ප්‍රකාශයට පත් කෙරුණා.

මෙවරත් කම්කරු දිනය සැමරීම සඳහා ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ සහ සංවිධාන මැයි දින පෙළපාලි රැස්වීම් අද දිනයේ සංවිධානය කර තිබේ.

ඒ අනුව දිවයින පුරා රැළි සහ පෙළපාලි 40ක් දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති විසින් සංවිධානය කර ඇත.

එමෙන්ම මැයි දින සැමරුම් උත්සව 19ක් ද මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය අද පස්වරු 2.00ට කොළඹ මාළිගාවත්ත පොලීසිය ඉදිරිපිට දි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භවීමට නියමිතය.

ජනාධිපතිවරයා අද මැයි දින රැළි දෙකකට එක්වීමට නියමිතව අතර අද පෙරවරුවේ ලංකා කම්කරු කොංග්‍රසය සංවිධානය කරන මැයි දින රැළියට කොටගල මහජන ක්‍රීඩාංගණයේ දී සහභාගී වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළියට ඉන් අනතුරු සහභාගීවීමට නියමිතය.

ජාතික ජනබලවේගය කොළඹ, යාපනය, මාතර සහ අනුරාධපුර ප්‍රදේශවල මැයි රැළි හතරක් සංවිධානය කර ඇති බව විජිත හේරත් මන්ත්‍රීවරයා පවසයි.

සමගි ජන බලවේගය කොළඹ චැතැම්වීදිය සහ වතුකරයේ මැයි රැළි දෙකක් පැවැත්වීමට සැලසුම්කර ඇති බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රීවරයා සදහන් කළේය..

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැයි දින රැළිය කොළඹ කැම්බල් පිටියේදී පැවැත්වීමට සියල්ල සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය ගම්පහ ප්‍රදේශයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.