ජනාධිපතිවරණට අපේක්ෂකයෝ 39 දෙනෙක් ඉදිරිපත් වී සිටියද 2022 අර්බුදයේ මේ රටේ නායකත්වය භාර ගන්න ඉදිරිපත් වුණ රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
ඔහු අවධාරණය කරන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එදා ඒ අභියෝගය භාර ගත් නිසා රට ගැන සිතන සියළු දෙනා ඔහු ජයග්‍රහණය කරවීමට එකට එකතු වී ඇති බවයි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව කියා සිටියේ බත්තරමුල්ල, තලවතුගොඩ පොදුජන එක්සත් නිදහස් පෙරමුණේ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේද පැවසීය,
“පොදුජන එක්සත් නිදහස් පෙරමුණ අපි හැදුවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 104 දෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබාදෙන නිසයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ මැතිවරණයේදී ජයග්‍රහණය කරනවා කියලා අපි විශ්වාස කරනවා. ඊළඟට පාර්ලිමේන්තු මැතිවරණයේදී රට ගැන හිතන කණ්ඩායමක් එකතුවෙලා ජනාධිපතිතුමා මේ ගෙනයන වැඩපිළිවෙළට සහයෝගය දෙන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. ජනාධිපතිතුමාට පසුගිය අවුරුදු දෙක මේ රට ආර්ථික අර්බුදයෙන් ගොඩගන්න පුළුවන් වුණේ, විශේෂයෙන්ම බංගලාදේශය පත් වුනු තැනට නොගිහින් අපිට රට බේරගන්න පුළුවන් වුණේ, එතුමාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලු දෙනාම ලබා දුන් සහයෝගය නිසයි. ඉදිරියේදී පක්ෂ දේශපාලනයට වඩා රට ගැන හිතලා අපි හැමෝම කටයුතු කරන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා අපේ දේශපාලන වේදිකාව සියළුම පක්ෂ වලට විවෘතව තියෙනවා. සියලුම ආගම්වලට විවෘතව එන්න පුළුවන්කම තියෙනවා. ජාති, ආගම් භේද නැති පක්ෂ කුල භේද නැති එකම වේදිකාව බවට පත්වෙලා තියෙන්නේ අපේ වේදිකාව. අපේ කණ්ඩායම ඊළඟ මැතිවරණවලට සහයෝගය දෙන්නේ මේ සන්ධානය හරහා. විශේෂයෙන්ම පළාත් පාලන මැතිවරණවලදී පවා අපි අපේක්ෂකයන් ආරක්ෂා කරගන්නවා.
