නිමල් රාජපක්ෂ-
ඉන්දීය රෙදිපිළි අමාත්‍ය ගිරිිරාජ් සිං (Giriraj Singh) මහතාගේ විශේෂ ආරාධනයකට අනුව නවදිල්ලි නුවර පැවැත්වෙන ‘Barath Tex’ ජාත්‍යන්තර ප්‍රදර්ශනයට සහභාගී වූ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහ ඉන්දීය රෙදිපිළි කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය පබිත්‍රා මාගරිටා (Pabitra Margherita) මහතා අතර විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ඊයේ (14) නවදිල්ලි නුවරදී සාර්ථකව පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහීෂිණි කොලොන්නේ (Mahishini Colonne) මහත්මිය ඇතුළු ඉන්දීය රෙදිපිළි අමාත්‍යාංශයේ සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.
ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්රය නවීකරණය කිරීම සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ ජයගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහ ආයෝජන සහාය ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරුණු අතර, ප්‍රධාන අංශ කිහිපයක් ඔස්සේ දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරගැනීමට එකඟතාව පළ විය. ඒ අනුව, තාක්ෂණික හා අධ්‍යාපනික සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් ඉන්දියාවේ ප්‍රමුඛතම ආයතනයක් වන ජාතික මෝස්තර තාක්ෂණ ආයතනය (NIFT) හරහා ශ්‍රී ලාංකික සිසුන් සඳහා උපාධි මට්ටමේ පුහුණු වැඩසටහන් දියත් කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය විෂය නිර්දේශ සහ තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීමටත් මෙහිදී සාකච්ඡා කෙරිණි.
තවද, සාම්ප්‍රදායික සහ නවීන පේෂකර්මාන්තය නඟා සිටුවීම උදෙසා අත්යන්ත්‍ර (Handloom) රෙදිපිළි කර්මාන්තය මෙන්ම නවීන තාක්ෂණික රෙදිපිළි (Technical Textiles) නිෂ්පාදනය සඳහා දෙරටේම ඇති හැකියාවන් ඒකාබද්ධ කරමින් ඒකාබද්ධ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ද අවධානය යොමු විය. මීට අමතරව, ශ්‍රී ලංකාව සතු ඛනිජ සම්පත් සඳහා ඉන්දියාවේ තාක්ෂණික සහ ආයෝජන දායකත්වය ලබා ගැනීම සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වය අතර කරුණු සාකච්ඡාවට ලක්විය.
මෙම සාකච්ඡාවේදී 2027 වසරේදී පැවැත්වීමට නියමිත “Expo 2027” ජාත්‍යන්තර ප්‍රදර්ශනය පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර, ඒ සඳහා ඉන්දීය ආයෝජකයින්ගේ සහ ව්‍යාපාරිකයින්ගේ සක්‍රීය දායකත්වය ලබාගැනීම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා විසින් ඉන්දීය නියෝජිත පිරිස සමඟ අදහස් හුවමාරු කර ගන්නා ලදී.
මෙම හමුව ශ්‍රී ලංකාවේ කර්මාන්තකරණය නව මානයකට ගෙන යාම සඳහා ඉන්දියාව සමඟ පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කළ සුවිශේෂී අවස්ථාවක් ලෙස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සලකයි.
