නිමල් රාජපක්ෂ-
ශ්‍රී ලංකා නාවික හමුදාවේ පර්යේෂණ අංශය විසින් සම්පාදනය කරන ලද “Sri Lanka’s Maritime Heritage and Historical Significance” නැමැති නව ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩගේ ආරාධනයෙන්, ගරු ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්විණි.
ඒ අනුව, උත්සව අවස්ථාවේ ආරම්භක දේශණය සිදුකළ නාවික හමුදාධිපති, විවිධ ආයතන හා විද්වතුන්ගේ දායකත්වයෙන් මෙම ග්‍රන්ථය නිර්මාණය වූ බවත්, මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු කණ්ඩායමේ කැපවීම එහි සාර්ථකත්වයට හේතු වූ බවත්, සමුද්‍රීය ඉතිහාසය හා පුරාවිද්‍යා ක්ෂේත්‍රයට දායක වූ උපදේශක ලුතිනන් කොමාණ්ඩර් සෝමසිරි දේවේන්ද්‍ර ඇතුළු හිටපු නාවික හමුදා නිලධාරීන්ගේ සේවය සිහිපත් කළ නාවික හමුදාධිපති, මෙම ප්‍රයත්නය සදහා පුරෝගාමී වූ හිටපු නාවික හමුදාපති සහ නාවික පර්යේෂණ අංශයේ ප්‍රධානි ඇතුළු පිරිසගේ දායකත්වයද විශේෂයෙන් ඇගයීමට ලක් කෙරිණි.
එමෙන්ම, උත්සවය අමතමින් අදහස් දැක්වූ ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය උරුමය ලේඛනගත කිරීම හා ප්‍රවර්ධනය කිරීම සඳහා නාවික හමුදාව විවිධ පාර්ශව සමඟ ඒකාබද්ධව කටයුතු කිරීම අගය කරන බවත්, වෙළඳ හා වාණිජ, සංස්කෘතිය හා ස්වභාවය, දිය යට තාක්ෂණය හා උරුමය (Trade & Commerce, Culture & Nature, Underwater Technology & Heritage, and Case Studies) මෙන්ම විශේෂිත අධ්‍යන ඇතුළත් මෙම ග්‍රන්ථය, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ඉතිහාසය පිළිබඳ වැදගත් දායකත්වයක් සපයන කෘතියක් බවද ප්‍රකාශ කරන ලදි.
මෙම ග්‍රන්ථයේ ප්‍රධාන සංස්කාරකවරයා සහ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යා මහාචාර්යවරයකු වන රාජ් සෝමදේව මහතාද උත්සවය අමතමින් ග්‍රන්ථයේ අන්තර්ගතය හා එහි ශාස්ත්‍රීය සහ සමුද්‍රීය වැදගත්කම පිළිබඳ අදහස් දැක්වීය. ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව, පේරාදෙණිය, කැලණිය සහ යාපනය විශ්වවිද්‍යාල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය එක්ව සිදුකළ සහයෝගී ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස මෙම ග්‍රන්ථය නිර්මාණය කර ඇති බව සඳහන් කල ප්‍රධාන සංස්කාරකවරයා, ජාතික රාමුව තුළ නාවික හමුදාවේ විකාශනය වන භූමිකාව පිළිබඳ පුළුල් දැක්මට අනුකූල වූ ඉදිරි දැක්මකින් යුත් ප්‍රයත්නයක් වන මෙම කෘතිය, පද්ධතිමය පර්යේෂණ හා උපායමාර්ගික සැලසුම්කරණය ඔස්සේ සමුද්‍රීය ක්ෂේත්‍රය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ගොඩනැගීම සඳහා නාවික හමුදාව දක්වන කැපවීම ද පිළිබිඹු කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
