Spread the love

නිමල් රාජපක්ෂ-

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවට විද්‍යාත්මක සහ වෘත්තීය නිපුණතාවෙන් ඉහළ සන්නද්ධ හමුදාවක් ලෙස ලෝකයේ කටයුතු කිරීමට ඉහළ විභවතාවක් පවතින බවත්, ඒ වෙනුවෙන් ඔවුන් සූදානම් කිරීම සහ අවශ්‍ය පහසුකම් සැලසීම අත්‍යවශ්‍ය  බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආරක්ෂක අමාත්‍යාංශයේ 2026 වසරේ ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචනය සහ 2027 පූර්ව අයවැය සාකච්ඡාවකට අද (05) ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.

2026 වසර සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට රුපියල් බිලියන 530ක සමස්ත ප්‍රතිපාදන වෙන් කර ඇති අතර,ඉන් බිලියන 379ක් පුනරාවර්තන වියදම් ලෙසත්, බිලියන 151ක් ප්‍රාග්ධන වියදම් ලෙසත් වෙන් කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදාව, ගුවන් හමුදාව, නාවික හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ කැඩෙට් නිලධාරින් වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් සහ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ අංශය විසින් ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳව මෙහිදී පුළුල් ලෙස විමසා බැලිණි.

අධ්‍යාපනික සහ ධාරිතා සංවර්ධනයට අවශ්‍ය ආයතන පද්ධතිය ගොඩනැංවීම සහ ඉදිකිරීම් කර්මාන්තය ඇතුළු වෘත්තීය ක්ෂේත්‍ර සඳහා හමුදා සාමාජිකයින්ගේ දායකත්වය ලබා ගැනීම සහ ඒ සඳහා විශේෂ දීමනාවක් ගෙවීම ඇතුළු කරුණු රැසක් පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.

ආරක්ෂක හමුදා තුළ ක්‍රියාත්මක වන ඉංජිනේරු සේවා ඉදිකිරීම් සහ තාක්ෂණික කටයුතුවලට අමතරව විශේෂිත උපදේශන සේවා ලෙස පුළුල් කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරුණු අතර, රජයේ ඉදිකිරීම් කටයුතුවලදී සිදුවන ප්‍රමාදයන් සහ අධික පිරිවැය අවම කර ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාවේ ඉංජිනේරු බලකායන් සතු දක්ෂතා උපරිමයෙන් ලබා ගැනීම පිළිබඳවද සාකච්ඡාවට ගැනුණි.

සෞඛ්‍ය සේවා ආශ්‍රිතව කටයුතු කරන හමුදා නිලධාරීන් මුහුණ දී සිටින අභියෝග සහ ගැටලු පිළිබඳවද  අවධානය යොමු විය.

මේ වන විට ශ්‍රී ලංකා යුද හමුදාව යටතේ ප්‍රධාන ව්‍යාපෘති 17ක් ක්‍රියාත්මක කෙරෙන අතර ඒවායේ කටයුතු පිළිබඳවද සාකච්ඡා කෙරුණි.

එසේම, නාවික හමුදාව යටතේ ක්‍රියාත්මක කරන විවිධ විද්‍යුත් උපාංග එකලස් කිරීම, යන්ත්‍ර සහ උපකරණ ස්ථානගත කිරීම, සෝලා පද්ධති වැඩිදියුණු කිරීම ඇතුළු ව්‍යාපෘති පිළිබඳවද අවධානය යොමු වූ අතර, එම ව්‍යාපෘති  ප්‍රාග්ධන වත්කම් අත්පත් කර ගැනීමේ ව්‍යාපෘති ලෙස වැඩිදියුණු කිරීම පිළිබඳවද සාකච්ඡා විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව යටතේ ව්‍යාපෘති 136ක් පමණ ක්‍රියාත්මක වන අතර යන්ත්‍රෝපකරණ අලුත්වැඩියාව, සම්පත්වල පවතින ගැටලු විසඳා ගැනීම සහ  වර්තමාන ගෝලීය තර්ජනවලට ගැළපෙන පරිදි නවීන ඩ්‍රෝන තාක්ෂණය භාවිතය සම්බන්ධයෙන්ද අවධානය යොමු කෙරිණි.

අකුරේගොඩ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතුවල වත්මන් තත්ත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලු අතර, එහි පළමු අදියරේ කටයුතු මෙම ඔක්තෝබර් මාසය පමණ වන විට අවසන් කළ හැකි බවත්, නවාතැන් පහසුකම් වෙන් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක දෙවන අදියරේ කටයුතු හැකි ඉක්මණින් ආරම්භ කිරීමට නියමිත බවත් මෙහිදී අනාවරණය කෙරිණි. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සපයා ගැනීම පිළිබඳවද සාකච්ඡා විය.

ආපදා කළමනාකරණ අංශය වෙනුවෙන් වෙන් කෙරුණු රුපියල් බිලියන 10ක පුනරාවර්තන වියදම් සහ රුපියල් බිලියන 103ක ප්‍රාග්ධන වියදම් යටතේ ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ආපදා සහන සේවා මධ්‍යස්ථානය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ආදී ආයතන විසින් ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් සහ

ස්ථායීකරණ ක්‍රමවේද මගින් නායයෑම් අවදානම් අවම කිරීමේ ව්‍යාපෘතිය, නවීන ඩොප්ලර් රේඩාර් (Doppler Radar) පද්ධති ආදී වැඩසටහන්වල ප්‍රගතිය විමසා බැලිණි.

ආපදා සහන සේවා සහ ආපදා අවම කිරීමේ ව්‍යාපෘති සඳහා 2027 වසරේදී වැඩි අවධානයක් යොමු කිරීමටත්, දිට්වා ආපදා තත්ත්වය යටතේ නිවාස හා යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය සඳහා වෙනම ප්‍රතිපාදන වෙන් කිරීමටත් සාකච්ඡා කෙරිණි.

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර යන මහත්වරුද, ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශ යටතේ ඇති ආයතනවල ප්‍රධානීහු, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීහු ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.