නිමල් රාජපක්ෂ-
ජෝර්ජියාවේ ටිබිලිසි නුවරදී පැවැත්වූ “එක්සත් ජාතීන්ගේ රාජ්‍ය සේවා සංසදය 2026” (UN Public Service Forum 2026) සඳහා සහභාගී වූ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා, රාජ්‍ය සේවයේ නවෝත්පාදනයන් සහ ද්විපාර්ශ්වික සහයෝගීතාවය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් සාර්ථක සාකච්ඡා රැසක නිරත විය.
රාජ්‍ය ආයතන පරිවර්තනය, නවෝත්පාදනය සහ වගවීම යන තේමාවන් පෙරදැරිව පැවැති මෙම ජාත්‍යන්තර සමුළුවේදී, අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කටයුතු පිළිබඳ නියෝජ්‍ය මහලේකම් ජුන්හුවා ලි (Mr. Junhua Li) මහතා හමුවී ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවා ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල්කරණ වැඩසටහන් පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කළේය.
එහිදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම උදෙසා එක්සත් ජාතීන්ගේ සහාය ලබාගැනීම පිළිබඳව අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය.
එමෙන්ම, රාජ්‍ය සේවා ක්ෂේත්‍රයේ නව අත්දැකීම් හුවමාරු කරගැනීමේ අරමුණින් අසර්බයිජාන් ජනරජයේ රාජ්‍ය සේවා සහ සමාජ නවෝත්පාදන සඳහා වන රාජ්‍ය ආයතනයේ නියෝජිත පිරිසක් සමඟ අමාත්‍යවරයා ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වීය.
එහිදී අසර්බයිජානයේ සාර්ථකව ක්‍රියාත්මක වන ‘අසාන්’ (ASAN) සේවා මධ්‍යස්ථාන ආකෘතිය සහ එම ආයතනයේ ජාත්‍යන්තර ක්‍රියාකාරකම් පිළිබඳව ශ්‍රී ලංකා පාර්ශ්වය දැනුවත් කෙරිණි. රාජ්‍ය සේවය ජනතාවට සමීප කිරීම සහ සේවා සැපයුම විධිමත් කිරීම සඳහා මෙම අත්දැකීම් ශ්‍රී ලංකාවට ගළපා ගත හැකි ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීම, රාජ්‍ය ආයතනවල විනිවිදභාවය හා වගවීම තහවුරු කිරීම සහ ප්‍රාදේශීය මට්ටමින් ජනතා සහභාගීත්වය ශක්තිමත් කිරීම වෙනුවෙන් වත්මන් රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ ජාත්‍යන්තර වේදිකාවේදී මැනවින් පැහැදිලි කිරීමට අමාත්‍යවරයා කටයුතු කළේය.
තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කළ මහාචාර්ය චන්දන අබයරත්න මහතා, නවීන රාජ්‍ය පරිපාලන උපාය මාර්ග ශ්‍රී ලංකාවට හඳුන්වා දීම තුළින් රාජ්‍ය සේවය වඩාත් ජනතා කේන්ද්‍රීය සේවාවක් බවට පත්කිරීම තම රජයේ ප්‍රධාන අරමුණ බවද වැඩිදුරටත් සඳහන් කළේය.
ජූනි 23 වනදා සිට 25 වනදා දක්වා පැවැති මෙම ජාත්‍යන්තර සමුළුව සඳහා ලොව පුරා රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් රැසක් එක්ව සිටිය හ.
