Spread the love

නිමල් රාජපක්ෂ

සාර්ථක නවෝත්පාදනයන්ට පිළිගැනීමක් ලබා දීමත් ඒවා ජාතික වටිනාකම් බවට පත් කිරීමට මග සැකසීමත් අරමුණ බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික නව්‍යකරණ නියෝජිතායතනය (NIA) විසින් 2025 සහ 2026 වර්ෂයන්ට අදාළව නිර්මාණය කළ ජාතික නව්‍යකරණ වාර්තා ද්විත්වය එළිදැක්වීමේ අවස්ථාවට  ප්‍රධාන ආරාධිතයා ලෙස බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී අද දින එක් වෙමිණි.

ශ්‍රී ලංකාවේ ජාතික නව්‍යකරණ පරිසර පද්ධතිය ශක්තිමත් කිරීම සහ සම්බන්ධීකරණය කිරීම සඳහා පැවරී ඇති ප්‍රමුඛතම ආයතනය වන NIA වෙත පැවරී ඇති කාර්යභාරයට අනුව, ශ්‍රී ලංකාවේ නව්‍යකරණයේ තත්ත්වය, ප්‍රගතිය සහ බලපෑම පිළිබඳ ජාතික මට්ටමේ අවබෝධයක් ලබා දීමත්, ජාතික සංවර්ධනය සඳහා නව්‍යකරණය දක්වන දායකත්වය ඉස්මතු කිරීමත් අරමුණු කරගනිමින් NIA  විසින් සෑම වසරකම ජාතික නව්‍යකරණ වාර්තාව ප්‍රකාශයට පත් කරයි. අදාළ වර්ෂවලදී සාර්ථකව වාණිජකරණය කරන ලද හෝ ක්‍රියාත්මක කරන ලද නවෝත්පාදන සහ ඒවා රටට සහ සමාජයට ලබා දී ඇති දායකත්වය පිළිබඳ අගනා වාර්තාවක් මේ මඟින් සපයයි.

රට පුරා සිදු වූ සැබෑ නව්‍යකරණයන් පිළිබඳ සංසිද්ධි 70කට අධික සංඛ්‍යාවක් මෙම වාර්තා දෙකෙහි ඇතුළත් වේ. හුදෙක් අදහස් සහ නව නිපැයුම් පිළිබඳ සංසිද්ධිවලට පමණක් සීමා  නොවන නිෂ්පාදන, සේවා, තාක්ෂණ සහ ව්‍යාපාර බවට සාර්ථකව පරිවර්තනය වී, ආදායම් උත්පාදනය කරමින් ශ්‍රී ලංකාව ආර්ථිකය සඳහා වටිනාකම් නිර්මාණය කරන නව්‍යකරණයන් පිළිබඳ සැබෑ සාර්ථක උදාහරණ වේ.

මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

˝ජාතික සංවර්ධනය  සඳහා නවෝත්පාදනය අත්‍යවශ්‍ය වෙනවා. නවෝත්පාදන තුළින් ඵලදායිතාව ඉහළ නැංවීමට, නව කර්මාන්ත සහ රැකියා උත්පාදනයට, මහජන සේවාවන් ශක්තිමත් කිරීමට සහ ආර්ථික, සමාජීය හා පාරිසරික අභියෝගවලට මුහුණ දීමට හැකි විසඳුම් බවට පත් කිරීමට අපි උපකාර කරමින් සිටිනවා.  ඒ සඳහා ශ්‍රී ලංකාවට එකිනෙකට සම්බන්ධ වූ, සම්බන්ධීකරණය වූ නවෝත්පාදන පරිසර පද්ධතියක් අවශ්‍යයි. එම පරිසර පද්ධතිය ගොඩනගමින්  අපේ නවෝත්පාදන ජාතික සංවර්ධනයට වඩාත් ශක්තිමතව දායක කර ගැනීම අපේ අරමුණයි.˝

ජාතික නව්‍යකරණ නියෝජිතායතනය  ක්‍රියාත්මක කරන නවෝත්පාදන වවුචර් වැඩසටහන (Innovation Vouchers Programme)  යටතේ ප්‍රථම වවුචර්පත් ප්‍රදානය ද මෙහි දී සිදු කෙරිණි. ඒ අනුව සාර්ථක අයදුම්කරුවන් 11 (තනි පුද්ගල හා කණ්ඩායම් ඇතුළත්ව) දෙනෙකු වෙනුවෙන් මූල්‍ය ප්‍රදානයන් පිරිනැමීම විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයාගේ සහ අමාත්‍යාංශ ලේකම්වරයාගේ අතින් සිදු කෙරිණි.  

බොහෝ පර්යේෂකයින් සහ නව නිපැයුම්කරුවන් වාණිජකරණය කරා යන ගමනේදී මුහුණ දෙන තාක්ෂණික හෝ වෙන්ත් බාධක මඟහරවා ගැනීම සඳහා නවෝත්පාදන වවුචර් මඟින් ඉලක්කගත සහය ලබා දෙයි.

මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශ ලේකම් (වැ.බ.) මහේෂ් ගම්මන්පිල මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, පරිසර අමාත්‍යාංශ ලේකම් රෝහිත උඩුවාවල මහතා, ජාතික නව්‍යකරණ නියෝජිතායතනයේ ප්‍රධාන නව්‍යකරණ නිලධාරී ආචාර්ය මුදිත සෙනරත් යාපා මහතා ඇතුළු නිලධාරීන් මහ හිටපු මෙහෙයුම් කමිටු සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.