Spread the love

නිමල් රාජපක්ෂ-

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන හා ඇගයීම් පද්ධති විභාග කේන්ද්‍ර කරගත් ප්‍රවේශයකින් ඔබ්බට ගෙන ගොස්, සිසුන්ගේ කුසලතා, නිර්මාණශීලීත්වය, අත්දැකීම් මත පදනම් වූ ඉගෙනුම් ක්‍රියාවලියක් සහ පරිපූර්ණ සංවර්ධනය ප්‍රවර්ධනය වන අයුරින් නවීකරණය කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

අගෝස්තු 12 වැනිදා කොළඹදී පැවති “ 250 වසරක අධ්‍යාපනික විශිෂ්ටත්වය: ශ්‍රී ලාංකික ඇමරිකානුවෙකුගෙන් උගත හැකි පාඩම්”( 250 Years of Educational Excellence: Lessons from a Sri Lankan America) මැයෙන් පැවත් වූ මහජන දේශනයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළා ය. 1952 වසරේ සිට අධ්‍යාපනික, සංස්කෘතික සහ වෘත්තීය හුවමාරු වැඩසටහන් ඔස්සේ ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ සාමය ප්‍රවර්ධනය කරන ස්වාධීන ද්විපාර්ශ්වික කොමිසමක් වන එක්සත් ජනපද-ශ්‍රී ලංකා ෆුල්බ්‍රයිට් කොමිසම විසින් මෙම අවස්ථාව සංවිධානය කර තිබිණි.

දැනට ක්‍රියාත්මක කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණ වන්නේ අධ්‍යාපන සහ ඇගයීම් ක්‍රමවේදය තුළ ඇති විභාග කේන්ද්‍ර කරගත් ප්‍රවේශයකින් ඔබ්බට ගොස් සිසුන් සඳහා ක්‍රියාකාරකම් පාදක කරගත්, අත්දැකීම් මත පදනම් වූ ඉගෙනුම ඉගැන්වීම් ක්‍රමයක් හඳුන්වා දීම බව අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.

දැනට පවතින අධ්‍යාපන පද්ධතියේ ඇති සාර්ථක දේවල් ඉවත් නොකරන බව අවධාරණය කළ අග්‍රාමාත්‍යතුමිය, එම පද්ධතිය තුළින් අධ්‍යාපනික වශයෙන් සාර්ථක වූ පරම්පරා ගණනාවක් බිහිව ඇති බවත්, වර්තමානයේ සහ අනාගතයේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි එය නවීකරණය කිරීම මෙම ප්‍රතිසංස්කරණවල අරමුණ බවත් සඳහන් කළාය.

ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ දෙමාපියන්ගේ ඩිජිටල් සාක්ෂරතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම ද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පෙන්වා දුන්නාය. එමෙන්ම අධ්‍යයනමය මෙන්ම වෘත්තීය අධ්‍යාපන මාර්ග සඳහා සමාන පිළිගැනීමක් සහ වලංගුභාවයක් ලබාදීමේ අවශ්‍යතාව ද අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කළාය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සඳහා මාසයක කාලයක් පුරා ආචාර්ය අබේවික්‍රම මහත්මිය ලබාදුන් දායකත්වය අගය කළ අග්‍රාමාත්‍යතුමිය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර විශේෂඥ දැනුම සහ සහයෝගීතාව ද අත්‍යවශ්‍ය බව පෙන්වා දුන්නා ය.

මෙම වැඩසටහන සඳහා සහයෝගය ලබාදුන් ෆුල්බ්‍රයිට් කොමිසම, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ඉංග්‍රීසි භාෂා ආයතනය, විභාග දෙපාර්තමේන්තුව සහ සියලුම නිලධාරීන් හා හවුල්කරුවන් වෙත ද අග්‍රාමාත්‍යතුමිය සිය ස්තූතිය පළ කළාය.

සියලු දෙනා ඇතුළත්, නවීන සහ අනාගතයට සූදානම් අධ්‍යාපන පද්ධතියක් ගොඩනැගීම සඳහා දේශීය මෙන්ම ජාත්‍යන්තර විශේෂඥයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍යතුමිය යළි අවධාරණය කළාය.