Spread the love


:නිමල් රාජපක්ෂ-

දූෂණය හා අකාර්යක්ෂමතාව අවම කර කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් ගොඩනැගීම මෙම වැඩපිළිවෙලේ ප්‍රමුඛ අරමුණ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි.

“සුපිළිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව යටතේ ප්‍රකාශයට පත් කර ඇති සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැගීමේ සතිය අද (27) ආරම්භ විය.

මෙම ජාතික සුපිළිපන් සතිය ජූලි 31 දක්වා ක්‍රියාත්මක වේ.

මෙම ජාතික මෙහෙයුමේ සමාරම්භය සනිටුහන් කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික සුපිළිපන් සතියේ ආරම්භය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුලු සියළු නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදුවිය.

ඒ අනුව ‘ජාතික සුපිළිපන් දිවුරුම’ ලබා දීම සහ ‘ආචාර ධර්ම සංග්‍රහය’ ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මෙම වැඩසටහන ආරම්භ කෙරිණි.

මෙම වැඩසටහනින් බලාපොරොත්තු වන්නේ මහජනතාවට රාජ්‍ය සේවය හරහා උපරිම කාර්යක්ෂම සේවාවක් ලබාදීම බව මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසූ අතර, රාජ්‍ය සේවකයින් වන අප වෙත සේවා බලාපොරොත්තුවෙන් පැමිණෙන පුරවැසියා සේවා ලබාගැනීමේ දී ලබන තෘප්තිමත්භාවය පිළිබඳ අවධානය යොමු කළ යුතු බව ද පැවසීය.

සියළු රාජ්‍ය ආයතනවල බලය උපදින්නේ සහ සියලු සම්පත් ලබාදෙන්නේ ජනතාව සිදුකරන ආර්ථික ක්‍රියාකාරකම් නිසා බැවින් ජනතාව මෙහි වැදගත්ම හා ප්‍රධාන කොටස බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මෙම වැඩපිළිවෙල තුළ විශාල දේවල් සිදු කිරීමටවත්, අවබෝධ කර ගැනීමටවත් නොවන බවත්, රාජ්‍ය සේවකයින් වන ඔබ වෙනත් රාජ්‍ය ආයතනයකින් බලාපොරොත්තු වන සේවාව ඔබ අමාත්‍යාංශයට පැමිණෙන ජනතාවට ලබා දිය යුතු බව ද පැවැසිය.

පසුගිය වසර 02 ක කාලය තුළ දුෂ්කර, අවිනිශ්චිත සුළි කුණාටුවක් වැනි තත්ත්වයකට මුහුණ දෙමින් සිදු කල වැඩ කටයුතු වල ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය සේවාව අද මෙම තත්ත්වයට පත්ව ඇති බව ද සමස්තයක් ලෙස දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය සේවකයින් ඒකාබද්ධව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පුරවැසියාට, ජාත්‍යන්තරයට ලංකාව පිළිබඳ සුබවාදීව කථා කිරීමට හැකියාව ලැබී ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය තිබුණු තත්ත්වයට වඩා ඉහළට ඔසවා තබා අද වන විට යම් ස්ථාවරයකට පැමිණ තිබෙන්නේ සේවකයින්ගේ මැදිහත්වීම මත බවත්, ජිවිතයේ සහ භාවිතාවෙි යම් වෙනස්කම් කිරීම මත හොඳ ප්‍රතිඵල අත්කර ග තහැකි බව පසුගිය වසර 02 ක කාලය දෙස බැලූ විට විශ්වාසය තැබිය හැකි බව ද පැවසූ අමාත්‍යවරයා තවදුරටත් එහි කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම, පවතින දුෂණ වංචා ද නවතා දැමීම මෙම වැඩසටහනේ අරමුණ බව පැවසිය. ලෝකයේ ඕනෑම ආයතනයක වැඩ කරන ප්‍රමාණය බහුතරයක් වන බවත් අකාර්යක්ෂම සුළුතරය ද ප්‍රශස්ත සේවාවක් සදහා යොමු කිරීමට මෙම වැඩසටහන දියත් කරන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

හොඳට වැඩකරන රාජ්‍ය සේවකයින් අධෛර්යමත් නොකර, නරකට වැඩ කරන සුළුතරය ද නිවැරදි මගට යොමූ කිරීමට කටයුතු කළ යුතු බවත්, එසේ නොවුනහොත් බලාපොරොත්තු වන ඉලක්ක කරා ගමන් කිරීමට අපහසු වනු ඇති බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක මහතාගේ අත්සනින් යුතු චක්‍රලේඛයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති මෙම වැඩසටහන, ජනාධිපති ලේකම් කාර්යාලය හා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලැබේ.