මාලන් විතාන –
ලාදුරු රෝගය තුරන් කිරීම සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) සුභසාධන තානාපති යොහෙයි සසාකාවා (Yohei Sasakawa) මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් ඊයේ (11) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
එහි දී සසකාවා සෞඛ්‍ය පදනම (Sasakawa Health Foundation) සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගය තුරන් කිරීම සඳහා සිදු කළ පොදු කැපවීම, ශ්‍රී ලංකාවේ ලාදුරු රෝගය තුරන් කිරීමේ වත්මන් ප්‍රගතිය, අනාගත සෞඛ්‍ය සැලසුම්, සහයෝගීතාවයන් සහ හවුල්කාරීත්වයන් ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡා විය.
මෑතක දී සාර්ථකව පවත්වන ලද ශ්‍රී ලංකා ජාතික ලාදුරු රෝග සමුළුවෙන් (Sri Lanka National Leprosy Conference) පසුව ඇති වූ සාධනීය ප්‍රගතිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා රජය, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ සාසකාවා සෞඛ්‍ය පදනම (SHF) අතර පවතින ශක්තිමත් සහයෝගීතාවය සහ හවුල්කාරිත්වය මෙම සාකච්ඡාවේ දී ඇගයීමට ද ලක්විය.
ලාදුරු රෝගය තුරන් කිරීමේ වැඩපිළිවෙල සඳහා දේශපාලන කැපවීම තවදුරටත් ශක්තිමත් කිරීම, ප්‍රජා සහභාගීත්වය ඉහළ නැංවීම මෙන්ම ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය තුළ ඒකාබද්ධව, ජනතාව සහ රෝගීන් කේන්ද්‍ර කරගත් සේවා සැපයීමේ වැදගත්කම සහ ඒ තුළින් මෙම ක්‍රියාවලිය වඩාත් වේගවත් කිරීමේ අවශ්‍යතාවය ද, මෙහි දී අවධාරණය කරන ලදී.
ජාතික සහ ගෝලීය ඉලක්කවලට අනුකූලව ක්‍රියා කරමින්, අවශ්‍ය තාක්ෂණික මඟපෙන්වීම් ලබාදීමට, නව හවුල්කාරිත්වයන් ගොඩනැඟීමට සහ ලාදුරු රෝග සේවාවන් ප්‍රාථමික සෞඛ්‍ය සේවාවට තවදුරටත් ඒකාබද්ධ කිරීමට අවශ්‍ය අඛණ්ඩ සහයෝගය ඉදිරියටත් ශ්‍රී ලංකාව වෙත ලබා දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ සාසකාවා සෞඛ්‍ය පදනම මෙහිදී සහතික විය.
සසකාවා සෞඛ්‍ය පදනම (Sasakawa Health Foundation) යනු ලෝකයෙන් ලාදුරු රෝගය (Hansen’s disease) තුරන් කිරීම සහ ගෝලීය මහජන සෞඛ්‍යය නංවාලීම අරමුණු කරගෙන 1974 වසරේදී ජපානයේ පිහිටුවන ලද ප්රමුඛ පෙළේ ජාත්‍යන්තර පුණ්‍යායතනයකි.
එම පදනම ලොව පුරා ලාදුරු රෝගීන් කල්තියා හඳුනා ගැනීම, නොමිලේ ප්‍රතිකාර ලබාදීම සහ රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සමඟ එක්ව කටයුතු කරයි.
