නිමල් රාජපක්ෂ-
ශ්‍රී ලංකාවේ වන අලි ඇතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ උග්‍ර වෙමින් පවතින මිනිස් අලි ගැටුම පාලනය කිරීම අරමුණු කරගනිමින්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රිවිධ හමුදාව එක්ව දියත් කර ඇති විශේෂ “හස්ති සේනා” අඛණ්ඩ මෙහෙයුම මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වේ.
මෙම ඒකාබද්ධ මෙහෙයුම තවදුරටත් පුළුල් කරමින් විධිමත් ප්‍රතිපත්තිමය සහ නීතිමය රාමුවක් තුළ ස්ථාපිත කිරීම සඳහා වන විශේෂ සාකච්ඡාවක් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන්, පරිසර අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු මෙහෙයුමට අදාළ ත්‍රිවිද හමුදාවේ ඉහළ පෙළේ නිළධාරීන්ගේ සහභාගිත්වයෙන් අද දින (9) පරිසර අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
මෙම සාකච්ඡාවේදී හස්ති සේනා මෙහෙයුමේ ඉදිරි ක්‍රියාමාර්ග විධිමත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල සටහනක් ඉදිරිපත් කිරීමට තීරණය වූ අතර, එහිදී ප්‍රධාන උපායමාර්ගික ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි විශේෂ අවධානය යොමු විය.
ඒ අනුව, අවදානමට ලක්ව ඇති අලි-ඇතුන් ඉලක්කගතව ආරක්ෂා කිරීමේ අරමුණෙන් අධික අවදානම් සහිත සංක්‍රමණික කලාප සහ පරිසර පද්ධති ආශ්‍රිතව සැරිසරන තනි ඇතුන් සහ පැටවුන් සහිත අලි රංචු නිරන්තර නිරීක්ෂණයට ලක්කිරීම සහ ඔවුන් ගමන් කරන මාර්ගවල යුද හමුදා විශේෂ ආරක්ෂක අනුඛණ්ඩ යොදවා ක්ෂේත්‍ර ආරක්ෂාව සැලසීම සඳහාත්, වනජීවී අපරාධ ලෙස මර්දනය කිරීමේ අරමුණනේ හක්කපටස්, බඳින තුවක්කු සහ නීතිවිරෝධී ගිනිඅවි භාවිතය, නිෂ්පාදනය සහ බෙදාහැරීමේ ජාල බුද්ධි අංශ තොරතුරු මත පදනම්ව වැටලීම් මඟින් මුලිනුපුටා දැමීමටත් අවශ්‍ය කටයුතු පිළිබඳ අවධානය යොමු විය.
