Spread the love

නිමල් රාජපක්ෂ-

ස්වභාවික ආපදා හේතුවෙන් හානි වූ ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය පාලම් ප්‍රතිසංස්කරණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන ‘ශ්‍රී ලංකාවේ ආපදා පසුකාලීන පාලම් ප්‍රතිසංස්කරණය සඳහා වන චීන රජයේ හදිසි ආධාර ව්‍යාපෘතියේ’ පළමු අදියර අද දින (2026.11.01) යක්කල හත්වන පාලම අසලදී ආරම්භ කෙරිණ.

මුදල් අමාත්‍යාංශය, ප්‍රවාහන, මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය ඒකාබද්ධ කඩිනම් සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කරනු ලැබුවේ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක ගේ ප්‍රධානත්වයෙන් කම්කරු අමාත්‍ය සහ මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ගේ සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති H.E. Wei Huaxiangගේ සහභාගිත්වයෙනි.

මෙම පාලම් ප්‍රරතිසංස්කරණය වෙනුවෙන් ශ්‍රීලංකා රජය සහ මහජන චීන සමූහාණ්ඩුව අතර ඇති කරගත් එකඟතාවකට අනුව, චීන රජයේ පූර්ණ මූල්‍ය ප්‍රරදානයක් යටතේ හදිසි ආපදා ප්‍රරතිසංස්කරණ ව්‍යාපෘතියක් ලෙස මෙම ‘චීන – ශ්‍රීලංකා මිත‍්‍රත්ව පාලම් ව්‍යාපෘතිය’ ක්‍රියාත්මක කෙරේ. ව්‍යාපෘතිය යටතේ ප්‍රරතිසංස්කරණය සඳහා පාලම් 14ක් හඳුනාගෙන ඇති අතර, එය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. පළමු අදියර යටතේ පාලම් 09ක් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත අතර, ඉතිරි පාලම් 05 දෙවන අදියර යටතේ ප්‍රරතිසංස්කරණය කෙරේ

පාලම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ගිවිසුම් ගතවීම ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ද චීන රාජ්‍ය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති H.E. Wei Huaxiang මහතා ද අතර සිදුවිය.

පළමු අදියර යටතේ බස්නාහිර පලාතේ ගම්පහ දිස්ත‍්‍රික්කයේ කොටදෙනියාව – බෝපිටිය මාර්ගයේ කොටදෙනියාව පාලම සහ අලුත්ගම – විගොඩ මාර්ගයේ බෙම්මුල්ල පාලම, සබරගමුව පලාතේ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ඇහැළියගොඩ – දෙහිඕවිට මාර්ගයේ අල්ගොඩ පාලම සහ ගලිගමුව – රුවන්වැල්ල මාර්ගයේ මත්තමගොඩ පාලම, නැගෙනහිර පලාතේ අම්පාර දිස්ත‍්‍රික්කයේ සම්මන්තුරේ – මල්කම්පිඩි – දීඝවාපි මාර්ගයේ ඉරක්කාමම් පාලම, කොළඹ – මඩකලපුව මාර්ගයේ නින්දවුර් පාලම ඉදිකිරීමට නියමිතය. එසේම වයඹ පලාතේ කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ නිකවැරටිය – මොරගොල්ලාගම – සියඹලන්ගමුව මාර්ගයේ සියඹලන්ගමුව පාලම, උතුරු මැද පලාතේ පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ දඹුල්ල – බකමූණ – කලගහවෙල මාර්ගයේ කුමාර ඇල්ල පාලම සහ මඩකලපුව දිස්ත‍්‍රික්කයේ අම්පිලන්තුරෙයි – වීරමුනෙයි මාර්ගයේ මන්දූර් පාලම ද ප්‍රරතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයේ අලුත්ගම – විගොඩ මාර්ගයේ බෙම්මුල්ල පාලමේ වැඩ ආරම්භ කරමින් පාලම් ව්‍යාපෘතියේ නිල ආරම්භය සිදුකෙරිණ.

මෙම පාලම් 09 ප්‍රරතිසංස්කරණය කිරීම සඳහා ඇස්තමේන්තු කර ඇති මුළු පිරිවැය චීන යුවාන් මිලියන 79.0 කි. එය ශ්‍රීලංකා රුපියල් මිලියන 3,933කට ආසන්න වන අතර, සමස්ත ඉදිකිරීම් පිරිවැය චීන රජයේ ප්‍රරදානයක් ලෙස ලබාදීම විශේෂත්වයකි. හදිසි ක්‍රියා පටිපාටි හරහා ව්‍යාපෘති සම්පූර්ණ කිරීම (CPTUP) ආධාර ප්‍රරදාන ක්‍රරමවේදය යටතේ චීන රාජ්‍ය ඉදිකිරීම් ඉංජිනේරු සංස්ථාව (China State Construction Engineering Corporation) ව්‍යාපෘතියේ කොන්ත‍්‍රාත්කරු ලෙස කටයුතු කරන අතර, උපදේශන සේවා සපයනු ලබන්නේ China Communications Construction Company Limited (CCCC) විසිනි. දෙවන මහාමාර්ග උපදේශක සමාගම් ලෙස (Second Highway Consultants Co., Ltd.) සහ වුහාන්, දාතොං ඉංජිනේරු ඉදිකිරීම් සමාගම (Wuhan Datong Engineering Construction Co., Ltd.) කටයුතු කරනු ලබයි.

කොළඹ, පොලොන්නරුව සහ අම්පාර යන ප්‍රධාන කලාප තුනක් වශයෙන් ඉදිකිරීම් සිදු කරමින් ව්‍යාපෘතිය කඩිනමින් නිමකිරීමට සැලසුම් කර ඇති අතර, මෙම වසර තුල ඉදිකිරීම් ආරම්භ කර මාස 18 කින් ප්‍රධාන ඉදිකිරීම් අවසන් කිරීමට අපේක්ෂා කෙරේ.

මෙහි දී අදහස් දැක්වූ බිමල් රත්නායක අමාත්‍යවරයා :

පසුගියදා ඇති වූ දිට්වා ආපදාව නිසා අපේ රටට අතිවිශාල හානියක් සිදු වුණා. මාර්ග පද්ධතියේ පමණක් ස්ථාන 400කට අධික ප්‍රමාණයක් හානි වුණා.

දිට්වා විපත සිදු වූ මොහොතේ සිටම චීන රජය අපේ රටට විශාල සහයක් ලබා දුන්නා. චීනය ඇතුළු රටවල් රැසක් අපේ රටට ආධාර, සේවා ලබා දුන්නා. තාවකාලිකව ප්‍රතිසංස්කරණ වලට වගේ ම එම සියලු රටවල් ස්ථාවර ඉදිකිරිම් ක්‍රියාවලිය සඳහාත් අඛණ්ඩව සහය ලබා දීම අගය කරනවා.

දිට්වා ව්‍යසනය සිදුවී වසරක් ගතවන අවස්ථාවේ පාලම් 14ක් අලුතෙන් ඉදිකිරීමට චීන රජය ලබා දෙන සහයෝගයට මෙරට චීන තානාපතිතුමාටත්, චීන රජයටත්, එරට ජනතාවටත් කෘතඥතාව පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.

චීන රජයේ ආධාර, ප්‍රදාන යටතේ මෙරට ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මක වෙනවා. මහාමාර්ග, අධිවේගී මාර්ග, පාලම් ව්‍යාපෘති පමණක් නොවෙයි, මෙරට යටිතල පහසුකම් සංවර්ධනයට දැවැන්ත, සක්‍රිය මැදිහත්වීමක් ලබා දෙනවා. මෙයින් ව්‍යාපෘති රැසක් 2028 වසර වනවිට අවසන් කර මෙරටේ පොදු ජනතාවට ප්‍රතිලාභ භුක්ති විදීමට ඉඩකඩ සැලසෙන බව සතුටින් ප්‍රකාශ කරනවා.

අපේ රට වෙනුවෙන්, රටේ ජනතාව වෙනුවෙන්, දිගුකාලින මිතුරෙකු ලෙස චීන රජය, චීන ජනතාව ලබා දෙන නිබද සහායට නැවත නැවතත් ශ්‍රී ලංකා රජයේත් ජනතාවගේත් ගෞරවය පුදකර සිටිනවා.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රගීත් මදුරංග සහ රුවන් මාපලගම යන මහත්වරු සහ ප්‍රාදේශීය දේශපාලඥයෝ ද චීන රාජ්‍ය නියෝජනය කරමින් රාජ්‍යතාන්ත්‍රික නිලධාරීහු, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ඉංජිනේරු අනුරාධ හෙට්ටිආරච්චි මහතා ඇතුළු මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීහු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ