නිමල් රාජපක්ෂ
කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධානතම සෞඛ්‍ය සේවා සපයනු ලබන මධ්‍යස්ථානය වන කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලේ වත්මන් රෝගී ප්‍රතිකාර සේවාවන්, සංවර්ධන කටයුතු, ඉදිරි සැලසුම් සහ අවශ්‍යතා පිළිබඳව සොයා බැලීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (17) එම රෝහලේ නිරීක්ෂණයක නිරත වූ අතර, අනතූරුව රෝහල් කළමණාකරණ කමිටු රැස්වීමකට ද සහභාගි විය.
රෝගී වාට්ටු, හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය, බාහිර රෝගී අංශය, මුළුතැන්ගෙය, අතරමඟ නවතා දමා ඇති සංවර්ධන ව්‍යාපෘති සහ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති ඇතුලු අංශ කිහිපයක්ම එහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානයට හා නිරීක්ෂණයට ලක්විය.
සීමිත පහසුකම් යටතේ කෑගල්ල සහ අවට ප්‍රදේශවල ජනතාවට රෝහල මගින් ලබාදෙන සේවාව මෙහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ඇගයීමට ලක් වු අතර රෝහල් කාර්ය මණ්ඩලයට සිය ගැටළු සහ අවශ්‍යතා ඉදිරිපත් කිරීමට ද මෙහිදී අවස්ථාව ද ලබාදෙන ලදි.
රෝහලේ ප්‍රධාන අවශ්‍යතාවයක් වන අතරමඟ ඉදිකිරීම් නවතා දමා තිබූ මහල් 05 කින් යුත් හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර සංකීර්ණය (A&E) රුපියල් මිලියන 1300 කට අධික පිරිවැයක් දරමින් නැවත ඉදිකිරීම් ආරම්භ කරන බවත්, 2028 මැදභාගය වන විට එහි ඉදිකිරීමි අවසන් කර තැත් රසායනාගාරයක් ද සමගින් ජනතාවට ගුණාත්මක ප්‍රතිකාර සේවාවක් ලබාදීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
එමෙන්ම රෝහලේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 75 ක මුදලක් වෙන් කිරීමට කඩිනමින් කටයුතු කරන බවත්, ලබන වසරේ නවීනතම තාක්ෂණයෙන් යුත් CT Scanner යන්ත්‍රයක් ලබාදීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය කටයුතු සූදානම් කර ඇති බවද පැවසූ අමාත්‍යවරයා රෝහලේ මානව සම්පත ශක්තිමත් කරමින් හෙදියන් 40 ක් සහ සෞඛ්‍ය කාර්ය සහායකයින් 44 ක් ඉදිරියේ දී ලබාදීමට කටයුතු කරන බව ද පැවසීය.
මෙරට රෝහල් පද්ධතියට නිල නිවාස, උපකරණ සහ ගිලන් රථ ලබාදීම සම්බන්ධව ඉදිරියේදී සැලසුම් සහගත ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහල 1960 වර්ෂයේ දී ආරම්භ කර ඇති අතර, අදියරෙන් අදියර සංවර්ධනය වූ රෝහලේ මේවන විට ඇදන් ධාරිතාවය 815 ක් වේ. කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහල කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධානතම රෝහල වන අතර දිස්ත්‍රික්කයේ ලක්ෂ නවයකට ආසන්න ජනතාවකට මෙන්ම අවට දිස්ත්‍රික්කවන මහනුවර, කුරුණෑගල, රත්නපුර සහ අවට ප්‍රදේශවල ජනතාවට ද ප්‍රතිකාර හා සත්තාර සේවාවන් මෙම රෝහල මගින් සපයනු ලබයි.
