Spread the love

නිමල් රාජපක්ෂ

 ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ ප්‍රධාන පාර්ශවකරුවෙකු ලෙස මත්ද්‍රව්‍ය ව්‍යසනය සමාජයෙන් ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව දිවයින වටා මුහුදු කලාපය ආවරණය කරමින් විශේෂ නාවික මෙහෙයුමකින්, ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී , මත්ද්‍රව්‍ය බහාලූ බවට සැක කෙරෙණ උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් (01) සමඟ සැකකරුවන් සිව් දෙනෙකු (04)  නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

එම බහුදින ධීවර යාත්‍රාව, අද 17) උදෑසන දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙනවිත්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් සිදුකළ විශේෂ පරීක්ෂාවේදී, යාත්‍රාවේ තිබූ උර තුළ, හෙරොයින් කිලෝග්‍රෑම් එකසිය හැට එකකට (161) කට අධික තොගයක් ඇති බව තහවුරු විය.

මෙම මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ද සහභාගී වූහ.

එහිදී අදහස් දැක්වූ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, මත්ද්‍රව්‍ය ජාවාරම සංවිධානාත්මක හා සැලසුම් සහගත ක්‍රියාවලියක් ලෙස දිගුකාලීනව පැවති බවත්, වර්ථමාන රජය විසින් “රටම එකට” ජාතික මෙහෙයුම තුලින් නාවික හමුදාව ඇතුළු ත්‍රිවිද හමුදාවන්, පොලීසිය, විශේෂ කාර්ය බලකාය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා ජාත්‍යන්තර ආයතන ඒකාබද්ධ කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීමට රාජ්‍ය වැඩපිළිවෙළක් සාර්ථකව ක්‍රියාත්මක කරමින් සිටින බවයි.

තවද, මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව (01), කිලෝග්‍රෑම් එකසිය හැට එකකට (161) අධික හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සමඟ සැකකරුවන් සිව් දෙනා (04) ඉදිරි වැඩිදුර විමර්ශන හා නීතිමය පියවර සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දීමට කටයුතු කෙරිණි.