නිමල් රාජපක්ෂ
යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති රාමුවේ වැඩකටයුතු මාසයක කාලයක් ඇතුළත අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද අධ්‍යාපන ප්‍රතිපත්ති සංකල්ප පත්‍රිකාව පිළිබඳව ජනාධිපති කාර්යාලයේදී ඊයේ (10) පස්වරුවේ පැවති සාකච්ඡාවේදීය.
වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පූර්ව ළමාවිය අධ්‍යාපනය, සාමාන්‍ය අධ්‍යාපනය (ප්‍රාථමික, ද්විතීයික හා තෘතීක), උසස් අධ්‍යාපනය, වෘත්තීය අධ්‍යාපනය, තාක්ෂණ අධ්‍යාපනය, ඩිජිටල් අධ්‍යාපනය හා අවිධිමත් අධ්‍යාපනය යන කුලුනු ඔස්සේ සිදු කෙරෙන බව ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපතිවරයා මෙහිදී ප්‍රකාශ කරන ලදී.
මෙතෙක් මෙරට පැවති අධ්‍යාපන ක්‍රමවේදය හා වරින්වර ක්‍රියාත්මක වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා එමගින් සමාජයීයව ඇති කළ වෙනස්කම් පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. එම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව සමාලෝචනය කර ඉන් මතුවන වැදගත් කරුණු කෙරෙහි නව අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් කිරිමේදී අවධානය යොමු කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
1991 වසරේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව ස්ථාපනය කිරීමෙන් අනතුරුව වරින්වර අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කර ඇති අතර, ඉන්, 1997 ප්‍රතිපත්තියෙන් සැලකිය යුතු කොටසක් ප්‍රාථමික අධ්‍යාපනය සඳහා යොදා ගෙන ඇති බව අධ්‍යාපන කොමිසමේ සාමාජිකයන් විසින් මෙහිදී පෙන්වා දෙනු ලැබීය.
2016 වසරේ සාමාන්‍ය අධ්‍යාපනය සඳහා පමණක් ප්‍රතිපත්තියක් සකසා ඇති නමුත්, ඒ අනුව කටයුතු කර නොමැති බව ද නිරීක්ෂණය වී තිබේ. 2023 වසරේ අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කළද එය ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය ලෙස පිළිගෙන නොමැති බවද අධ්‍යාපන කොමිෂන් සභාවේ නියෝජිතයින් විසින් මෙහිදී පෙන්වා දෙන ලදී. මෙතෙක් සිදුවූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතුවලදී ප්‍රතිපත්තියක් සකසා ඒ අනුව අධ්‍යාපනය වෙනස් කරනවා වෙනුවට අධ්‍යාපනයට සම්බන්ධ ආයතනවල කාර්යභාරය මත සකස් කරන ලද වැඩසටහන් මත පදනම්ව සිදුව ඇති බවටද මෙහිදී අවධානය යොමු විය.
මෙම අවස්ථාව සුවිශේෂී බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, වෙනමම අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවක් සකසා, එකී ප්‍රතිපත්ති රාමුව මත කටයුතු කරනවා වෙනුවට අධ්‍යාපන ක්‍රියාවලියක් ක්‍රියාත්මකව පවතින බැවින් එහි පැවැත්මට බාධාවක් නොවන පරිදි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු බවද අවධාරණය කළේය.
මෙය ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව ඉදිරියේ ඇති සැලකිය යුතු අභියෝගයක් බවත්, මෙතෙක් පැවති මෙන්ම වර්තමානයේ පවතින අධ්‍යාපනය මුළුමණින්ම සාර්ථක හෝ මුළුමණින්ම අසාර්ථකද යන්න තීරණය කිරීම නිවැරදි නැතැයිද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
පැවැති ක්රමයේ සාධනීය කරුණු මෙන්ම නිෂේධනීය කරුණුද ප්‍රවේශමෙන් තෝරාබේරාගත යුතු බවත්, අධ්‍යාපන ප්රතිසංස්කරණයක් සාධනීය හෝ නිෂේධනීයද යන්න කෙටිකාලීනව තීරණය කළ නොහැකි බවත් එය දීර්ඝ කාලීනව සමාජයේ සිදුවන වෙනස්කම් මත පදනම්ව තීරණය කළ යුතු බැවින් සෙසු ප්‍රතිසංස්කරණවලට වඩා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී වඩාත් සැලකිලිමත් විය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමේදී පැන නැගිය හැකි බවට පුරෝකථනය කරන ලද සමාජ අභියෝග ගැඹුරින් සමාලෝචනය කරමින්, නව සමාජයට ගැළපෙන පුරවැසියකු නිර්මාණය කිරීමට අවශ්‍ය කරුණු නව ප්‍රතිපත්ති රාමුවට අන්තර්ගත කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.
මේ වන විට විධිමත්ව නියාමනය නොවන අධ්‍යාපනයට සම්බන්ධ සියලුම ක්ෂේත්‍ර නියාමනයට අවශ්‍ය ප්‍රතිපත්ති රාමුව සකස් කිරීමේ අවශ්‍යතාව පිළිබඳවත්, පෞද්ගලික අධ්‍යාපනය නියාමනය නොකිරිමෙන් සිදුවන හානිය පිළිබඳවත් මෙහිදි විශේෂ අවධානය යොමු විය.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීම සහ පෞද්ගලික විශ්වවිද්‍යාලය නියාමනය සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කිරීමේ වැදගත්කමද මෙහිදී සාකච්ඡාවට බදුන් කෙරිණි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ඒ. සරත් ආනන්ද යන මහත්වරු සහ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සාමාජිකයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
