නිමල් රාජපක්ෂ-
ශ්‍රී ලාංකීය සිනමාවේ සුවිශේෂී කලා මංගල්‍යය වන 37 වන සරසවිය සිනමා සම්මාන උළෙල,ඊයේ ( සැප්තැම්බර් 09 වන දින) කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) සහ ‘සරසවිය’ පුවත්පත එක්ව සංවිධානය කළ මෙවර සම්මාන උළෙල “තරුණ සිනමාවේ අරුණෝදය” යන තේමාව යටතේ පැවැත්වීම විශේෂත්වයකි. ඒ අනුව 2025 වසරේදී නවක අධ්යක්ෂවරුන් 13 දෙනෙකු ලාංකේය සිනමාවට පිවිසීම මෙහිදී සලකුණු කෙරිණි.

2025 වසර තුළ තිරගත වූ සිංහල සිනමාපට ඇගයීමට ලක් කරමින් තරඟකාරී අංශ 34ක් යටතේ සම්මාන 50කට අධික ප්‍රමාණයක් මෙහිදී ප්රදානය කෙරිණි. එහිදී හොඳම ආකර්ෂණීය චිත්‍රපටය ලෙස ඉලංගෝ රාජ් අධ්‍යක්ෂණය කළ ‘නෙලුම් කුළුණ’ චිත්‍රපටය සම්මාන හිමිකර ගත් අතර, තිසර ඉඹුලාන අධ්‍යක්ෂණය කළ ‘මෝඩ තරිඳු’ චිත්‍රපටය වැඩිම ආදායම් ලැබූ ජනප්‍රිය චිත්‍රපටය ලෙස සම්මාන ලැබීය.
රණපාල බෝධිනාගොඩ අනුස්මරණ සිනමා සාහිත්‍ය සම්මානය ජේෂ්ඨ සිනමා මාධ්‍යවේදී ප්‍රේම් දිසානායක මහතාත්, ජීවිතේ එක්වරක් පමණක් පමණක් හිමිවන සරසවිය ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් අනුස්මරණ රණතිසර සම්මාන ප්‍රවීන කලාකරු හේමසිරි සෙල්ලප්පෙරුම,
ජේෂ්ඨ නිරූපනවේදී නීටා ප්‍රනාන්දු,
ප්‍රවීණ ගායක ටී.එම්.ජයරත්න සහ
එම්.එම්.අබ්දුල් හග් යන මහත්ම මහත්මීන් වෙත පිරිනැමීය.

ජනප්‍රිය චිත්‍රපට නළුවා ලෙස දමිත් විජේතුංග සහ හොදම චිත්‍රපට නළුවා ප්‍රියන්ත සිරිකුමාර සම්මාන ලැබූ අතර ජනප්‍රිය චිත්‍රපට නිළිය සහ
හොදම චිත්‍රපට නිළිය යන සම්මාන ද්විත්වයම සැන්ඩ්‍රා මැක් හිමි කර ගත්තාය.
උත්සවයේදී අදහස් දැක්වූ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා මෙසේ පැවසීය.
“1964 වසරේ සිට ආරම්භ වූ සරසවිය සම්මාන උළෙල පැමිණි මෙම ගමන පිළිබඳව ඇත්තේ අභිමානවත් සතුටක්. සිනමාවට තමුන්ගේ මුළු ජීවිතයම කැප කළ විශිෂ්ටයන් පිරිසක් ඇගයීමට ලක්කිරීම අතිශය ප්‍රසංශනීයයි. මහාචාර්ය තිස්ස රණසිංහයන් නිර්මාණය කළ සරසවිය සම්මානය ශ්‍රී ලංකාවේ චලන චිත්‍ර සම්මාන අතර අග්‍රගණ්‍ය සම්මානයක් ලෙස සැලකෙනවා.

පසුගිය වසරේ සහ මෙවසරේදී නැවතත් සිනමාව පෝෂණය වන කාලයක් බවට පත්ව තිබෙනවා. නැවතත් සිනමාශාලා වෙත ප්‍රේක්ෂකයින් පැමිණීම සුබදායක ලකුණක්. එමෙන්ම, ඉදිරියේදී ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ පළමු වතාවට ඔස්කාර් සම්මාන උළෙල නියෝජනය කිරීමට ද අපගේ රටේ චිත්‍රපටයක් සූදානමින් සිටිනවා.”
මෙම අවස්ථාවට කථානායක,වෛද්‍ය ජගත් වික්‍රමරත්න, අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය නලින් හේවගේ, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි, ලේක්හවුස් ආයතනයේ සභාපති ගාමිණි වරුෂමාන යන මහත්වරුන් ඇතුළු ලේක්හවුස් ආයතනයේ ප්‍රධාන කර්තෘවරුන්, ජ්‍යෙෂ්ඨ හා ආධුනික කලාකරුවන්, සිනමා ශිල්පීන්, මාධ්‍යවේදීන් මෙන්ම ප්‍රභූන් රැසක් එක්ව සිටියහ.
