•නිමල් රාජපක්ෂ-
වැවිලි ක්ෂේත්රයේ අනාගත පැවැත්ම තහවුරු කරමින් එය ජාත්‍යන්තර වෙළෙඳපොළ සමඟ තරග කළ හැකි තිරසාර කර්මාන්තයක් බවට පත් කිරීම සඳහා දැනුම, නවීන තාක්ෂණය හා මානව සම්පත් සංවර්ධනය අත්‍යවශ්‍ය සාධක බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික වැවිලි කළමනාකරණ ආයතනය (NIPM) මඟින් සංවිධානය කළ සහතිකපත් ප්‍රදානෝත්සවයට බත්තරමුල්ල වෝටර්ස් එජ් (Waters Edge) හෝටලයේදී ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා සහ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංගික හල්වතුර මහතා ඇතුළු ආරාධිත පිරිසක් ද සහභාගී වූහ.
වැවිලි ක්ෂේත්රයේ මානව සම්පත් සංවර්ධනය හා වෘත්තීය නිපුණතා ඉහළ නැංවීම වෙනුවෙන් ජාතික වැවිලි කළමනාකරණ ආයතනය මඟින් පවත්වනු ලබන අධ්‍යාපනික හා වෘත්තීය පුහුණු පාඨමාලා සාර්ථකව අවසන් කළ 501 දෙනෙකු වෙත මෙහිදී සහතිකපත් ප්රදානය කරන ලදි. එමෙන්ම වැවිලි ක්ෂේත්රයේ උන්නතිය වෙනුවෙන් දිගුකාලීනව විශිෂ්ට සේවාවක් ඉටු කළ ප්‍රවීණ වෘත්තිකයන් ඇගයීමට ලක් කරමින් වෘත්තීය ගෞරව සාමාජිකත්වය සහ වෘත්තීය අධිසාමාජිකත්වය ඇතුළු ගෞරව සාමාජිකත්වයන් පිරිනැමීම ද මෙහිදී සිදු කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, වැවිලි ක්ෂේත්රයට සම්බන්ධ ජනතාව ශක්තිමත් කිරීම යනු ඔවුන්ගේ වැටුප් ඉහළ නැංවීමට පමණක් සීමා නොවන බවයි. ඔවුන්ගේ නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම් සහ සමාජීය තත්ත්වය ඇතුළු සමස්ත ජීවන තත්ත්වය උසස් කිරීම ඒ සඳහා අත්‍යවශ්‍ය බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම දේශගුණික විපර්යාස හමුවේ වැවිලි කර්මාන්තය තිරසාරව පවත්වාගෙන යාමට නම්, ඒවාට ඔරොත්තු දිය හැකි කර්මාන්තයක් බවට මෙම ක්ෂේත්රය පරිවර්තනය කළ යුතු බවත්, ඒ සඳහා මානව සම්පත් සංවර්ධනය ප්රමුඛ කාර්යභාරයක් ඉටු කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
ඩිජිටල්කරණය සහ කෘත්‍රිම බුද්ධිය වැනි නව තාක්ෂණික ප්රවණතා ලෝකය තුළ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක, එම වෙනස්කම් වැවිලි ක්ෂේත්රයට ද කඩිනමින් හඳුන්වා දිය යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඒ තුළින් පමණක් ජාත්‍යන්තර වෙළෙඳපොළ සමඟ සාර්ථකව තරග කිරීමේ හැකියාව ගොඩනඟා ගත හැකි බව සඳහන් කළේය.
රජය විසින් 2030 වසර වන විට වැවිලි ක්ෂේත්රය වෙනුවෙන් හඳුනාගෙන ඇති ජාතික ඉලක්ක පිළිබඳව ද අදහස් දැක්වූ අමාත්‍යවරයා, 2024 වසරේදී කිලෝග්‍රෑම් මිලියන 262ක් වූ නිමි තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 400 දක්වා ඉහළ නැංවීමත්, තේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,400ක පමණ මට්ටමේ සිට ඩොලර් මිලියන 2,500 දක්වා ඉහළ නැංවීමත් අපේක්ෂාව බව පැවසීය.
සහතිකපත් ලබාගන්නා පිරිස අමතමින් අමාත්‍යවරයා ඉල්ලා සිටියේ, තමන් ලබාගත් දැනුම හා පුහුණුව ප්‍රායෝගික ක්ෂේත්රය තුළ භාවිත කරමින් වැවිලි කර්මාන්තයේ අනාගතය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබාදෙන ලෙසයි. එමෙන්ම ජාතික සම්පත් හා මහජන මුදල් වැය කරමින් පවත්වාගෙන යන ආයතනවලින් උපරිම ප්‍රතිඵල ලබාගැනීමේ වගකීම සියලු පාර්ශ්වයන් සතු බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.
