පාර්ලිමේන්තු මැතිවරණය කලින් පවත්වන්නැයි ඉල්ලන පොදු ජන පෙරමුණේ නියෝජිතයන්ට දින නියමයක් නැතුව කල් දමා ඇති පළාත් පාලන මැතිවරණය අමතක වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.
කල් දමා ඇති පළාත් පාලන මැතිවරණය ගැන වචනයක්වත් නොකියන පොදු ජන පෙරමුණේ නියෝජිතයන් මෙම වසරට නියමිතවත් නැති මහමැතිවරණයක් ගැන කියවීමෙන් එම පක්ෂයේ කඩාවැටිම හා අවස්ථාවාදීකම පැහැදිලිව පෙනෙන බවද හෙතෙම කියා සිටියේය.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
අද වනවිට ලංකාවේ ඡන්ද දායකයන්ගෙන් 40%ක් තවමත් කිසිදු තීරණයක් ගැන නැති බවත් එනිසා සමීක්ෂණ ප්‍රතිඵල මත ඡුන්ද ප්‍රතිඵල තීන්දු කළ නොහැකි බවත් පැවසූ ඔහු බොහෝ පිරිසක් තමන්ගේ අවසන් තීරණය ගන්නේ අවසන් මොහොතේ බවත් පැවසීය.
කෙසේ වෙතත් ඉදිරි මැතිවරණයකින් තනි පක්ෂයක් ජය නොගනු ඇති බවත් සන්ධාන ගතවුවොත් පමණක් ජය හිමිවනු ඇති බවත් හෙතෙම තවදුරටත් සඳහන් කළේය.
පාස්කු ප්‍රහාරකයන් පිළිබඳ තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය පිළිබඳව ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ යුතු යයිද පැවසූ ඔහු ප්‍රහාරය වළක්වා නොගැනීමත් එම ප්‍රහාරයෙන් පසු දැන සිටි කරුණු අනාවරණය නොකිරීමත් නිසා ජාතික ධනය විශාල වශයෙන් වැය කොට ජනාධිපති කොමිසමක්ද පත්කළ බවද මන්ත‍්‍රීවරයා කියා සිටියේය.
එමගින් මුළු සමාජයම නොමග යවා ඇති බවත් තමන් කරුණු දැන මෙසේ කිරිම කිසිසේත්ම නොසලකා හැරිය නොහැකි බවත් මන්ත්‍රීවරයා තවදුරටත් පැවසුවේය.
