Spread the love

කොළඹ මහල් නිවාස හිමියන්ට හිමිකම් ඔප්පු ලබා දීමේ රජයේ වැඩපිළිවෙල යටතේ ලබන මාසයේ දී නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඇති මහල් නිවාස 8,000කට සින්නක්කර ඔප්පු ලබා දීමට කටයුතු යොදා ඇත.

මීට අමතරව ජාතික නිවාස සංවර්ධන අධිකාරියද ඔප්පු 1,070ක් ලබා දීමට සැලසුම් කර තිබේ.

කොළඹ මහල් නිවාස හිමියන් 50,000කට නිවාස හිමිකම් ඔප්පු ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය අයවැයේදී කීවේය. මෙම හිමිකම් ඔප්පු ලබා දීම සිදු කෙරෙන්නේ ඒ අනුවයි.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් සින්න පදනමින් ලබා දී ඇති සහාධිපත්‍ය නිවාස ඒකක 22ක 14,559ක් අඩු ආදායම්ලාභී ජනතාව වෙත ලබා දී තිබෙන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව ප්‍රථම අදියර යටතේ හිමිකම් ඔප්පු ලබාදීම මිහිඳු සෙන්පුර, සිරිසර උයන, මෙත්සර උයන, ලක්මුතු සෙවණ, සිරිමුතු උයන යන ව්‍යාපෘති කේන්ද්‍ර කර ගනිමින් සිදුකෙරේ.

ඊට අමතරව ලක්සඳ සෙවණ, රන්දිය උයන, ලක්මුතු උයන, මුවදොර උයන, සියසත සෙවණ, පුරදොර සෙවන, ජයමග සෙවන, මිහිජය සෙවන, හෙළමුතු සෙවන, සියපත සෙවන, ලක්සෙත සෙවන යන ලක්හිරු සෙවන යන නිවාස ව්‍යාපෘති වල හිමිකම් ඔප්පු මේ වසර අවසන් වීමට පෙර ලබා දීමට කටයුතු සැලසුම් කර තිබේ.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශවල ක්‍රියාත්මක කර ඇති මහල් නිවාස සඳහා ප්‍රථමයෙන් හිමිකම් ඔප්පු ලබා දීම සිදු කරයි.

මෙම නිවාසවල අයිතිය අදාල පදිංචිකරුවන් වෙත නිත්‍යානුකූලව පැවරීට ප්‍රමාද වී ඇත්තේ ඇතැම් නීති රීතිවල පවතින ගැටළු සහගත තත්ත්වය නිසයි. ඒ සඳහා මේ වනවිටත් නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර අවශ්‍ය උපදෙස් ලබාගෙන ඇති බවද අමාත්‍යවරයා අවධාරණය කරයි.

මෙම වසර අවසන් වීමට පෙර කොළඹ මහල් නිවාස හිමියන් සියළු දෙනාට තම හිමිකම් ඔප්පු ලබා දීමට කටයුතු කරන බවයි.

මෙම නිවාසවල හිමිකරුවන් වෙත නීත්‍යානුකූල ඔප්පු ලබාදීමෙන් අනතුරුව පදිංචි ජන කොට්ඨාශයන්ගේ නියෝජනයකින් පිහිටවිය යුතු සහාධිත්‍ය කළමනාකරණ සංස්ථාවක් මගින් මෙම නිවාසවල නඩත්තුව හා කළමනාකරණ කටයුතුද සිදු කිරීමට අපේක්ෂිතයි.

“උරුමය” සින්නක්කර ඔප්පු ලබාදීම සඳහා 2024 අයවැයෙන් රුපියල් බිලියන දෙකක මුදලක් වෙන් කර තිබේ.