2025 ජනවාරි මාසයේ සිට අනිවාර්යෙන්ම රාජ්‍ය සේවකයාට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එකඟතාවය පළ කළ වැටුප් වැඩිවීම ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
අද (10) අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍ය වරයා සඳහන් කළේ රජයේ වැටුප් වැඩි කිරීම සැලසුම් කිරීමෙන් අනතුරුව ඒය සිදු නොවන බවට සාවද්‍ය තොරතුරක් සමාජගත කිරීමට ඇතැමුන් උත්සාහ දරන බවයි.
එහිදී අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා –
අපේ රටේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත්තා.ඒ වගේම මේ වැටුප් වැඩිවීම අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග මීට වර්ෂයකට පෙර සාකච්ඡා කරමින් පැවති මාතෘකාවක්. ජනාධිපතිතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් පැහැදිලි කළේ මේ රටේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම සිදුකළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය ආදායම් වියදම් කළමණාකරණය පිළිබදව වැඩි අවධානයක් යොමු කළ යුතුයි.
ඒ සමගම මීට මාස කීපයකට කලින් මේ වර්ෂය සඳහා රුපියල් දස දහසක දීමනා වැඩිවීමක් රාජ්‍ය සේවකයන්ට මහා භාණ්ඩාගාරය විසින් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ලබාදීමත් සමගම විවිධ දේශපාලන පක්ෂවලට සම්බන්ධ වෘත්තීය සමිති දිගින් දිගටම මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණය කරන්න පටන් ගත්තා.
එහිදී අපි කියා සිටියා 2024 වර්ෂය සඳහා නැවත දීමනා හෝ වැටුප් වැඩිවීමක් සිදු කරන්න බැහැ. නමුත් 2025 වර්ෂයේ දී අනිවාර්යයෙන්ම වැටුපඩි වැඩි කිරීමක් සිදු කරන බව. මේ නිශ්චිත වශයෙන්ම සිදු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් ප්‍රකාශ කළා. ඒ සඳහා අවශ්‍ය සාකච්ඡා ඒ වෙනකොටත් මහා භාණ්ඩාගාරය සමඟත් මුදල් අමාත්‍යාංශයේත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගත් අපි සිදු කරමින් පැවති නිසා.
ඒ වැටුපටවීම ලබා දුන්නට පස්සේ 2025 ක් ක්‍රියාත්මක වීමට අදාළව අපි දැක්ක පහුගිය දිනවල පුවත්පතක් ප්‍රවෘත්තියක් ලෙස පල කලා වැටුප් වැඩි කිරීමට අදාලව අවශ්‍ය අනුමැතියෙන් ලබාගෙන නැහැ කියලා.
ඒකෙන් අදහස් කරන්න ඇත්තේ මේ රටේ රාජ්‍ය සේවකයන් ඔවුන් විසින් මේ රටට කරන සේවාව වෙනුවෙන් සහ මේ ආර්ථික අර්බුදය තුළ ගොඩනැගෙන අලුත් ආර්ථිකයේ හැම කෙනෙකුටම ප්‍රතිලාභ ගලාගෙන යන්න ජනාධිපතිතුමා සහ රජයේ වැටුප් වැඩි කිරීමක් සැලසුම් කරාට පස්සේ ඒක සිදු නොවෙනවා කියන මතයක් සාවද්‍ය තොරතුරක් කියලා සමාජගත කරන්න උත්සාහ කළා.
මේ වැටුප් වැඩිවීම ලබාදෙන්න කලින් වෘත්තීය සමීති එක්ක සාකච්ඡා කරා. ඒ අයගේ ප්‍රධාන ඉල්ලීම් දෙකක් තිබුණා. ඒක ඉල්ලීමක් වුණේ ඒ අයට වැටුප් වැඩි වීමක් ලබාදීම. දෙවැනි ඉල්ලීම දැනට රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතාවය හැකිතාක් අවම කරන්න හෝ නැති කරන්න අවශ්‍ය කටයුතු කිරීම.
ඒ අනුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විසින් කැබිනට් මණ්ඩලය තුළ මේ ගැන සාකච්ඡා කරලා 2024 මැයි මාසේ 27 වැනිදා රජයේ සේවකයින්ගේ වැටුප් දීමනා ඇතුළත් කරුණු සමාලෝචනය කිරීම සඳහා කමිටුවක් ජනාධිපති ලේකම්වරයෙක් වන උදය සෙනවිරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරනවා.
මේ කමිටුවද 2024 අගෝස්තු මාසයේ 12 වැනිදා අතුරුවාර්තාවක් ඒ සම්බන්ධයෙන් ලබා දෙනවා. ඒ අතුරු වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වෙනවා. ඒ අනුව 2024 අගෝස්තු මාසේ 22 කැබිනට් මණ්ඩලය විසින් 2024 අගෝස්තු 12 වෙනිදා විශේෂඥ කමිටුව විසින් ලබාදෙනඅතුරු වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා අතුරු වාර්තාවේ අඩංගු කරුණු නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය අනුමැතිය සහ 2025 අයවැය ලේඛනය සඳහා ඇතුලත් කිරීමට අනුමැතිය ලබා දෙනවා.
මේ විශේෂඥ කමිටුවේ සම්පූර්ණ වාර්තාව 2024 සැප්තැම්බර් මාසෙ 3 වෙනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට භාරදීමෙන් අනතුරුව, පළමු අතුරු වාර්තාව ප්‍රතිපත්තිමය වශයෙන් ක්‍රියාත්මක කරන්න එකඟතාවය ලබාදීලා 2025 අයවැය ලේඛනයට ප්‍රතිපාදන වෙන් කරන්න කියලා අනුමැතිය ලබා දීලා ඊට පස්සේ සම්පූර්ණ වාර්තාව ජනාධිපතිතුමාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 4 වෙනිදා මේ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරෙනවා
9 වෙනිදා වෙනකොට නැවතත් කැබිනට් මණ්ඩලය සම්පූර්ණ වාර්තාව ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබා දෙනවා. ඒ අනුව මේ රටේ දැනට සේවය කරන සියලුම සමස්ත රාජ්‍ය සේවය ව්‍යවස්ථාපිත මණ්ඩල, සංස්ථා, පොලීසිය,ත්‍රිවිධ හමුදාව ආදී සියලුම දෙනාට මේ අදාල වැටුප් වැඩිවීම ලබාදීම සහ වැටුප් විෂමතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් වූ එකඟතාවය කැබිනට් මණ්ඩලය අනුමත කරනවා.
මේ වෙනකොට 2025 සඳහා අයවැය ලේඛනය සකස් කරමින් තිබෙනවා. ඒ අයවැය ලේඛනය අනුමත වීමෙන් අනතුරුව 2025 ජනවාරි මාසයේ සිට අනිවාර්යෙන්ම රාජ්‍ය සේවකයාට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විසින් එකඟතාවය පළ කළ මේ විශේෂඥ කමිටුව විසින් ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම ආරම්භ කරනවා.
මෙවැනි බොරු අසත්‍ය තොරතුරු සමාජගත කරන්න එපා. අනෙක් වේදිකාවල ජනාධිපති අපේක්ෂකයෝ පොරොන්දු ලබාදෙන ආකාරය අපි දකිනවා. මේ මැතිවරණයේදී යම් පොරොන්දුවක් ලබා දෙනවාද ඒ පොරොන්දු ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට පමණයි. ඒකට හේතුව අපි තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන, රටේ මූල්‍ය විනය සකස් කිරීම, රාජ්‍ය මූල්‍ය පාලනය, ආදායම් වියදම් කළමනාකරණය, අල්ලස් හා දූෂණ වැළැක්වීම සඳහා අවශ්‍ය නීති රීති මාලාව අරගෙන ඒම ආදී සියලු කටයුතු කරන්නේ. මේ වෙනුවෙන් ආර්ථික ඉදිරියට ගෙනියන්න පුළුවන් සියලුම කොටස්කරුවන් සහ පාර්ශවයන්ගේ එකඟතාවය මතයි.
අනෙක් අය හුදෙක් බලාපොරොත්තුවක් පමණයි දෙන්නේ. අනිවාර්යෙන්ම මේ ලබා දුන්න පොරොන්දු ක්‍රියාත්මක වෙනවා. රාජ්‍ය සේවකයාට ගෞරවාන්විතව ජීවත් වෙන්න පුළුවන්. ඔවුන් ඉල්ලපු බලාපොරොත්තු වූ වැටුප් වැඩිවීමත්, විෂමතා ඉවත් කිරීමත් මේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරපු පත්‍රිකාව තුළ සඳහන් වෙනවා. ඒ අනුව 2025 ජනවාරි සිට වැටුප් වැඩිවීම ඔවුන්ට ලබාගන්න පුළුවන්.
ජනතා විමුක්ති පෙරමුණට ප්‍රතිපත්තියක් නැහැ. එක කොනක ඉඳලා පටන් අරන් මෙහා කොන දක්වා වූ මහා පුළුල් පරාසයක් තුළ දවසින් දවස එක එක්කෙනා කියන දේට ප්‍රතිචාර දක්වමින් පමණයි යන්නේ. මේ රට ගොඩනැගීමේ අරමුණක් වැඩපිළිවෙලක් ජේ වී පී එකටත් නෑ. සමග ජන බලවේගයටත් නැහැ. එදිනෙදා ප්‍රවෘත්ති ටික අරගෙන ඒ ප්‍රවෘත්ති වලට ප්‍රතිචාර දැක්වීමේ ප්‍රතිපත්තියක් පමණයි අනුගමනය කරන්නේ.
මම නැවතත් කියනවා මේ රට ජනතා විමුක්ති පෙරමුණ යටතේ යහපත් රටක් පෝසත් රටක් කරන්න බැහැ. පෝසත් රටක් වෙන්නෙත් නැහැ. සතුටෙන් ජීවත් වෙන පවුලක් මේ රටේ නිර්මාණය වෙන්නෙත් නැහැ. මුලින් පටන් ගන්නේ අයි එම් එෆ් විරෝධීව. ණය ගෙවීම කජ්ජක්ද කියලා ඇහුවා. බැඳුම්කර හිමියන්ට පිටට තට්ටු කරලා පුළුවන් දවසක ගෙවන්නම් කියනවලු. අයි එම් එෆ් කියනවා ණය දෙන්න අපිට ඕන කාලක නැවත පියවනවලු. මේ වගේ ආර්ථික ප්‍රතිපත්තියක් කොහොමද අනුගමනය කරන්නේ? අද කියනවා රනිල් වික්‍රමසිංහ ප්‍රතිපත්තිය මේ රටේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් ජාත්‍යන්තර කොටස්කරුවන් එක්ක සාර්ථක කර ගත්තට පස්සේ ඔවුනුත් කියන්න අරන් රනිල් වික්‍රමසිංහ ප්‍රතිපත්තිය අනුගමනය කරනවා කියලා. එක කොනකින් පටන් අරගෙන තව කොනකට ගිහිල්ලා තියෙනවා.
මැතිවරණයට දව දින කිහිපයයි තියෙන්නේ. ඊළඟ දවස් දහය මේ මැතිවරණ වේදිකාවල කියන දේවල් දැකල මොන මොනවා ප්‍රකාශ කරයිද කියලා අපි කියන්න දන්නෑ. සමගි ජන බලවේගයටත් දෛනිකව වෙනස් වන ඒ හා සමාන ප්‍රතිපත්තියක් තියෙන්නේ.
