Spread the love


නිමල් රාජපක්ෂ

ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියා කලාපය ඉතා අගය කරන බව එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක, මාක් අන්ද්‍රේ ෆ්‍රාන්චේ මහතා (Mr. Marc Andre Franche) අවධාරණය කරයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ රජය විසින් ජනතා සුබසිද්ධිය වෙනුවෙන් මේවනවිට දියත් කර තිබෙන ව්‍යාපෘතීන් ප්‍රශංසනීය බවත්, අදාළ සංවර්ධන කාර්යයන් ඉදිරියට ගෙනයාමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයෝගය ලබාදීමට අපේක්ෂා කරන බවත්, එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක, මාක් අන්ද්‍රේ ෆ්‍රාන්චේ මහතා (Mr. Marc Andre Franche) අවධාරණය කළේය.

ඒ මහතා මෙම අදහස් පළකළේ, ඊයේ (05) පස්වරුවේ, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සභානායක, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය, බිමල් රත්නායක මහතා සමඟ පාර්ලිමේන්තු සභානායක කාර්යාලයේ පැවති නිල සාකච්ඡාවකට එක්වෙමිනි. මෙම අවස්ථාවට සාමය හා සංවර්ධනය පිළිබඳ විශ්ලේෂක, නෙත්මිණි මඩවල මහත්මිය ද සහභාගි විය.

මෙහිදී එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින්, ජනාධිපතිතුමාගේ උතුරේ සංචාරයේදි එම ජනතාවගෙන් ලද පිළිගැනීම, ආදරය තුළින් නව රජයේ ජාතික සංහිඳියාව ඇති කිරීමේ ක්‍රියාකලාපය පිළිබඳව විශේෂ පණිවිඩයක් ජාත්‍යන්තර ප්‍රජාව වෙත ලබාදී ඇති බවත්, සමහර රාජ්‍ය නායකයන්ගේ වගකීම් විරහිත ප්‍රකාශයන් සහ ක්‍රියාවන් පිළිබඳ සලකා බලන විට ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියා කලාපය ඉතා අගය කරන බවත් පැවසුවේය.

විශේෂයෙන් මෙම සාකච්ඡාවේදී උතුර සංවර්ධනය කිරීමට අදාලව ආණ්ඩුව විසින් සිදුකිරීමට බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග, ආර්ථික කලාප පිහිටවීම, ග්‍රාමීය මාර්ග සහ පාලම් සංවර්ධනය, පොදු ප්‍රවාහනය වර්ධනය කිරීම, රාජ්‍ය සේවයට සහ පොලිස් සේවයට දෙමළ ජනතාව සම්බන්ධ කරගැනීම සහ වැඩි වශයෙන් බඳවා ගැනීම, උතුරු පළාතේ කෘෂි කර්මාන්තය නගා සිටුවීම ආදී කරුණු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.

මෙහිදී අමාත්‍ය බිමල් රත්නායක මහතා අදහස් දක්වමින්, සාකච්ඡා සහ චක්‍රලේඛ වලින් ඔබ්බට ගිය ප්‍රායෝගික වැඩපිළිවෙලක් මගින් උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයන්ගේ ජනතාවට ප්‍රශස්ත ජීවන මට්ටමක් ලබාදීම වෙනුවෙන් කටයුතු කිරීමට අදහස් කරන බව පැවසූ අතර විශේෂයෙන් උතුරේ ඉඩම් නිදහස් කිරීම, ඉඩම් සම්බන්ධ ආරවුල් නිරාකරණය කර ජනතාව නැවත පදිංචි කිරීම වැනි ක්‍රියාමාර්ගයන්ද සිදුකිරීමට අදහස් කරන බව පැවසුවේය.
එහිදී එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා පැවසුවේ, ඔවුන් ද උතුරු ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් හමුවී, ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කැමැත්තෙන් සිටින බවයි.
ඉන්දියානු ධීවර යාත්‍රා ලංකාවේ මුහුදු තීරයේ මසුන් ඇල්ලිම හේතුවෙන් උතුරේ ජනතාවට මේ වනවිට මුහුණපෑමට සිදුව ඇති බරපතල අසීරුතාවයන් පිළිබඳවද, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන සහ විද්‍යුත් වාහන මෙරටට ආනයනය කිරීමට ඇති හැකියාව පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු විය.